2020 මැයි 02 වන සෙනසුරාදා

කොරෝනාවට බයට කෑම වේලට ගස්-මස්

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

චීනය කොරෝනා වෛරසයෙන් ගොඩ එමින් සිටින අතර වාරයේ, එරට බොහෝ දෙනෙක් සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටිති. ඒ අතර මස් ආහාර නිෂ්පාදන සමාගමක් මගින් නිපදවනු ලබන ශාක මගින් සකස් කෙරැණ ආහාර චීනය පුරා ආපන ශාලාවන්හි අලෙවි කිරීම පසුගිය බදාදා සිට ආරම්භ විය. මස් හැඩයෙන් සහ මස් රසැතිව පිස නිමවා ඇති මේ ආහාර සැකසෙන්නේ ශාක පදනම් කරගත් ආහාර නිෂ්පාදනවලිනි.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග වසා තැබීමට සිදු වූ චීනයේ ආපන ශාලා සහ භෝජනාගාර යළි විවෘත කරනු ලැබීමත් සමග, ඔවුන්ගේ ආහාර වට්ටෝරැවලට මස් නොවන එහෙත් මස් හා සමාන මෙම “ ගස්- මස්” ආහාර දීසි හඳුන්වාදීමට පටන්ගෙන ඇත. චීනයේ ආපනශාලා 3,300ක් මෙම ගස්-මස් ආහාර වර්ග තුනකින් දැනටමත් පාරිභෝගිකයන්ට සංග්‍රහ කරයි.

ක්ෂණික ආහාරවලින් සංග්‍රහ කරන KFC වැනි භෝජනාගාර පවා, ශාක නිෂ්පාදනවලින් පිසින ලද ව්‍යාජ කුකුළු මස් නිෂ්පාදන ඔවුන්ගේ නව ආහාර වට්ටෝරැවලට ඇතුළත් කරමින් සිය පාරිභෝගිකයන් පිනවීම සඳහා මේ සතියේ සිට අත්හදා බැලීම් ආරම්භ කරනු ඇත. ෂැන්හයි මෙන්ම  ග්වාන්ෂු සහ ෂෙන්ෂෙන් වැනි දකුණු චීනයේ නගරවල  ආපනශාලාවන්හි මෙම “ගස් - මස්” ආහාර පළමුවරට අලෙවි කරමින් ඇත.

මස් මාංශ ආහාර වෙනුවට ශාකමය ආහාර සඳහා ලෝකය පුරා ඉල්ලුම ඉහළ යමින් පවතින ප්‍රවණතාව හමුවේ චීනයේත් ආදේශක මාංශමය ආහාරවලට ඇති ඉහළ ඉල්ලුමත් සමග ශාකමය මාංශ නිෂ්පාදනය කරන බටහිර සමාගම් එරටටද ඇතුළු වීමට බලාපොරොත්තු වෙයි.