
රාජකීය ධුර අත්හැරීමෙන් අනතුරුව හැරී-මේගන් යුවළ සිය අවසන් රාජකීය කටයුතු සඳහා මේ දිනවල එක්ව සිටිති. කෙසේ වෙතත් ඔවුන්ගේ රාජකාරි කටයුතු ලබන අප්‍රේල් මාසයෙන් අවසන් කරමින් නිල ලිපියක් නිකුත් කිරීමට බකිංහැම් මන්දිරය කටයුතු කර තිබුණි.
සසෙක්ස්හි ආදිපාද හැරී සහ මේගන් යුවළ සිය රාජකීය නිලතල අත්හරින බව නිල වශයෙන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදීයි. යුවළ ලබන මාර්තු මස 31 වැනිදා සිට කිසිදු නිල රාජකාරියක නිරත නොවන බව බ්‍රිතාන්‍ය බකිංහැම් මන්දිරය පසුගියදා නිකුත් කළ නව නිවේදනයක දැක්වුණි. නිල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ හැරී-මේගන් යුවල නිල වශයෙන් ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව රැජිණ වෙනුවෙන් කිසිදු කාර්යක නිරතවීමට ඔවුන්ට අවස්ථාව හිමි නොවන බවයි. එමෙන්ම අප්‍රේල් මස පළමුවැනිදා සිට හැරී-මේගන් යුවළ වෙනුවෙන් බකිංහැම් මන්දිරයේ ඇති නිල කාමරයද වසා දැමෙනු ඇති. කෙසේ නමුත් තවත් වසරකින් අනතුරැව යුවලගේ රාජකීය ධුර අත්හැරීම සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ලබාගැනීමටත් රජ පවුල අපේක්ෂාවෙන් පසුවෙයි. මේ යුවළ උතුරු අමෙරිකාවේ වැඩිකාලයක් ගත කිරීමට කටයුතු කළහ. කෙසේ නමුත්, ඔවුන් ඉදිරි කාලයේදී නිතර නිතර බ්‍රිතාන්‍යයට පැමිණෙනු ඇත.