2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ඇන්ටාක්ටිකාව ගිනි රත්වෙයි!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

ඇන්ටාක්ටිකාවේ වඩාත් ශීඝ්‍රයෙන් දියවී යමින් ඇති ග්ලැසියරය වන පයින් අයිලන්ඩ් ග්ලැසියරයෙන් දැවැන්ත අයිස් කුට්ටියක් පසුගියදා කැඩී ගියේය. ඒ අතර ඇන්ටාර්ක්ටිකාවේ ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වන ෆැරන්හයිඩ් අංශක 69.35 ක් හෙවත් සෙල්සියස් අංශක 20.75ක්  පසුගියදා  වාර්තා විය. මේ මිහිමත ශීතලම ස්ථානය ලෙස නම්දරා සිටි ඇන්ටාක්ටිකා හිම ලෝකය මේසා උණුසුම් වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවයි මේ.

සමස්තයක් ලෙස සැලකුවහොත් මේ වනවිට ඇන්ටාක්ටිකාවේ උණුසුම ගතවූ වසර 50 තුළ ෆැරන්හයිඩ් අංශක 5.4 කින් හෙවත් සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගොස් තිබේ. මේ බව හෙළිකර සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධිත ලෝක දේශගුණික සංවිධානයයි. 

ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් පහළ දමා නොගතහොත් මානවයාට අති දැවැන්ත ‘දේශගුණික හදිසි තත්වයන්‘ට (climate emergency) ට මුහුණදීමට සිදුවන බව මේ වනවිට ලොව පිළිගත් සත්‍යයකි. එයට අනුව ලෝකයේ බොහෝ රාජ්‍යයන් අංශක 3ට අඩුකර ගැනීමේ ඉලක්කය තබාගෙන සිටියදී ලෝකයේ ශීතලම ස්ථානය මෙසේ අංශක 3 කින් උණුසුම් වී තිබීම දෛවෝපගත සිදුවීමකි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් වන්නේ, ඇන්ටාක්ටිකාවේ උණුසුම් වීම මගින් හිමකඳු සහ ග්ලැසියර දියවීම දරැණු අන්දමින් තීව්‍ර වන නිසාය.