
දිල්ලි මහ ඇමති අර්වින්ද් කේජ්රිවාල් නැවත වතාවක් ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේ මහඇමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව ඔහුට තවත් ධුර කාලයක් අදාළ තනතුරෙහි කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. ‘ආම් ආද්මී' හෙවත් පොදු මිනිසා පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ හෙතෙම පාලක භාරතීය ජනතා පක්ෂය පරදා ඉන් ජයග්‍රහණය කළේය. කොංග්රසයටද අත්වූයේ අන්ත පරාජයකි. මහ පක්ෂ දෙකම දිල්ලියෙන් අතුගා දමන්නට කෙජ්රිවාල් සමත්වූයේ දූෂණයට එරෙහි ක්‍රියාධරයෙකු ලෙස ඔහු දිනා ඇති ප්‍රබල ජනප්රසාදය නිසාය. ඔහු ආසන 70න් 62ක්ම දිනා ගත්තේය. තම ජයග්‍රහණය පිළිබඳ කේජ්රිවාල් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉන්දීය මාතාවගේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවය.
45 හැවිරිදි ඉංජිනේරු උපාධිධාරියෙකු වන අරවින්ද් කේජ්රිවාල් තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ක්‍රියාධරයෙකි. පසුගිය කාලයේ අන්නා හසාරේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී සටනේ නායකයෙකි. 2024දී අගමැති මෝදි සමඟ තරගයට අර්වින්ද් ඉදිරිපත් වනු ඇතැයි මතයක්ද මේ සමඟ ඉදිරිපත්ව තිබේ.
පිට පිට වාර තුනක් නවදිල්ලියේ බලයේ සිටි ශීලා දික්ෂිත්ගේ කොංග්රස් පාලනය හමාර කරමින් විශිෂ්ට ජයක් ලබාගන්නට අරවින්ද් කේජ්රිවාල්ගේ අවුරුද්දක් වයසැති ''ආම් ආද්මී'' පක්ෂය 2015දී සමත් විය. අර්වින්ද් කේජ්රිවාල් ආණ්ඩුවේ කටයුතුවල විනිවිදභාවය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන සමාජ ක්‍රියාධරයෙකි. දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා දුගීන් බලගන්වමින් ඉන්දියාවේ තොරතුරු ලබාගැනීමේ අයිතිය සඳහා වූ මහජන ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් 2006 'නැගී එන නායකත්වය’ සඳහා වන 'රැමොන් මැග්සයිසයි’ සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.