
මේ දිනවල සෝමාලියාවේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. වසංගත තත්ත්වයක් හේතු කොටගෙනය. නැගෙනහිර අප්‍රිකාව පුරා මේ දිනවල පළඟැටියන් විශාල ප්‍රමාණයෙන් පැතිර ගොස් තිබේ. එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි වගා බිම්වල ඵලදාව පළඟැටියන් අධික ලෙස ආහාරයට ගැනීම හේතුවෙන් එරට ආහාර සුරක්ෂිතතාවට විශාල තර්ජනයක් වී තිබේ. එලැඹෙන අප්‍රේල් මාසය ආරම්භ වීමට පෙර මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව එරට රජය පවසයි.
වසර 25කට පසු සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ දැකිය හැකි වූ විශාලතම පළඟැටි ගහනය මෙය ලෙස එක්සත් ජාතීන් පවසයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)ට අනුව මෙවැනි පළඟැටි තර්ජනයකට කෙන්යාව මුහුණ දී ඇත්තේ වසර 70කට පසුවයි. කෙසේ වෙතත් මෙම රටවල් අතරින් මුල්ම වතාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ කලාපයේ පළමු රට සෝමාලියාවයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය ජනවාරියේ අනතුරු අඟවමින් කියා සිටියේ ජූනි මාසය වනවිට අප්‍රිකානු කලාපය පුරා පළඟැටියන් සංඛ්‍යාව 500 ගුණයකින් වර්ධනය විය හැකි බවයි. 2019 වසරේ අග භාගයේදී ඇද හැලුණ අධික වර්ෂාවෙන් පසු පළඟැටි රංචු නැගෙනහිර අප්‍රිකාවට යේමනයේ සිට රතු මුහුද හරහා ව්‍යාප්ත විය.
පළඟැටියන්ට දිනකට කිලෝමීටර් 150 (සැතපුම් 93) දක්වා ගමන් කරන අතර සෑම වැඩිහිටි කෘමියෙකුටම දිනපතා ආහාර වේල සඳහා තමන්ගේ බරට සමාන ආහාරයක් ගත හැකිය. පසුගිය දෙසැම්බරයේදී පළඟැටි රංචුවක් ඉතියෝපියාවේ මගී ගුවන් යානයකට බාධා කළ අතර. කෘමීන් නිසා යානයේ එන්ජිම, සුළං ආවරණ අබලන් වූ නමුත් ගුවන් යානය අගනුවර අඩිස් අබාබා වෙත ආරක්ෂිතව ගොඩ බැස්සවීමට සමත් විය.