2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

බෝයිං 7w77X ලොව විශාලතම යානය ගුවනට

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 338

අඩි 252ක් දිගැති බෝයිං 777X යානය යනු බෝයිං සමාගමේ නවතම නිපැයුමකි. එය එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම ගුවන් යානයයි. එහි පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන ඉකුත්දා සාර්ථකව නිමවිය. බෝයිං සමාගමේ මෙම නවතම නිෂ්පාදනය   එක්සත් ජනපදයේ සියැටල් නගරයට නුදුරු ස්ථානයකදී ගුවන්ගත කෙරුණු අතර එය පැය හතරක පමණ පියාසරණයක යෙදුණි. මෙයට කලින් සූදානම් කර තිබූ මෙම අත්හදා බැලීම දෙවරක්ම කල් දැමීමට සිදුවූයේ ඒ අවස්ථාවේ තිබූ දැඩි සුළං සහිත කාලගුණය හේතුවෙනි. බෝයිං 777X යනු එම සමාගමේ සාර්ථක නිෂ්පාදනයක් වන බෝයිං 777 මාදිලියේ දිගුවක් වන අතර එය විශාලත්වයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ මාදිලියකි.

අඩි 252ක් දිගැති බෝයිං 777X යානය මෙම වසරේදී මගී ප්‍රවාහනය සඳහා දියත් කිරීමට නියමිතව තිබූ නමුත් යාන්ත්‍රික දුෂ්කරතා කිහිපයක් මතු වූ හෙයින් එය පමා කිරීමට සිදුවිය. මෙම අලුත්ම ගුවන් යානය ලබන වසරේදී එමිරේට්ස් ගුවන් සමාගමේ සේවයට යෙදවීමට නියමිතය. නමුත් ඊට පෙර තවත් අත්හදා බැලීමේ පියාසර කරවීම් කිහිපයක් සිදුකළ යුතුව ඇත.

නව ගුවන් යානය තුළ මගීන් 360කට පමණ ආසන පහසුකම් පවතී. එක් ගුවන් යානයක මිල ඩොලර් මිලියන 442කට අධිකය. මෙම යානයේ තටුවල අග කොටස නැමීමට හැකිවීම කැපී පෙනෙන විශේෂත්වයකි. එමෙන්ම වාණිජ සේවා සඳහා යොදාගන්නා ගුවන් යානා සඳහා තැනූ ලොව විශාලතම එන්ජිම මෙම යානාව සතුවීමද තවත් විශේෂත්වයකි. බෝයිං සමාගම පවසන්නේ මෙම මාදිලියේ ගුවන් යානා 309ක ඇනවුම් සඳහා මේ වනවිටත් තමන් වෙත මුදල් ගෙවා ඇති බවය.
බෝයිං 737 මැක්ස් ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමෙන් පසු බෝයිං සමාගම අර්බුදයකට මුහුණ දුන්නේය. මෙම අනතුරු දෙකම සිදුවූයේ මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළතය. පළමු අනතුර 2018 ඔක්තෝම්බර් මාසයේ ඉන්දුනීසියාවේදී සිදුවූ අතර 2019 මාර්තු මාසයේදී දෙවැනි අනතුර සිදුවූයේ ඉතියෝපියාවේදීය. පුද්ගලයන් 346 දෙනෙකුට මරු කැඳවූ එම අනතුරු දෙක සිදුවීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ යානා සියල්ලම පියාසර කරවීම අත්හිටුවන ලදී. මේ වනවිට ගුවන්ගත කිරීම අත්හිටුවා ඇති බෝයිං 737 මැක්ස්, එම සමාගම සතු වූ ගුවන් යානා අතරින් වැඩිම ඉල්ලුමක් පැවති මාදිලියයි. එකී අත්හිටුවීම හේතුවෙන් බෝයිං සමාගමට මේ වනවිට සිදු වී ඇති පාඩුව ඩොලර් බිලියන නමයකට අධිකය. එම මාදිලියේ යානා යළිත් භාවිත කිරීමට අවසර ලබා ගැනීම සඳහා බෝයිං සමාගම උත්සාහයක නිරතව සිටියි.