
නාසා ආයතනය මේ වසරේ ජූලි මස 17වැනිදා අඟහරු ග්‍රහයා වෙත යානාවක් පිටත්කර යැවීමට සූදානම්ය. මේ මෙහෙයුම යටතේ අඟහරු ග්‍රහයාගේ ඉතිහාසය පිළිබද සොයා බැලීමට අපේක්ෂා කරයි.
අදාළ මෙහෙයුම සදහා යොදාගන්නා රෝවර් යානාව නම් කිරීමේ දුර්ලභ අවස්ථාව මීට මාස කිහිපයකට පෙර නාසා ආයතනය ලබාදුන්නේ එරට පාසල් සිසුන්ටය. මේ අනුව පාසල් සිසුන් එවූ 28,000කට වඩා වැඩි නම් අතරින් අවසන් වටය සඳහා තෝරාගත් නම් කිහිපය මාධ්‍ය වෙත පසුගියදා අනාවරණය කෙරුණි. පාසල් සිසුන්ගේ ඒ ඒ වයස් කාණ්ඩය සලකා වයස් කාණ්ඩ තුනක් යටතේ නම් නවයක් තෝරාගෙන ඇත. මේ අනුව අවසන් වටයට පිවිස ඇති එන්ඩියුරන්ස්, ටෙනාසිටී, ප්‍රොමිස්, පර්සිවියරන්ස්, විෂන්, ක්ලැරිටි, ඉන්ජෙනියුඉටි, ෆෝටිටියුඩ් හා කරේජ් යන නම් කිහිපයයි. මෙම නම් තෝරාගැනීමේ බරපතළ කාර්ය සඳහා ස්වේච්ඡා විනිසුරුවරුන් 4,700 දෙනෙක් යොදාගෙන තිබුණි. එහිදී අවසන් පූර්ව වටය සඳහා තරගකරුවන් 155ක් පළමුව තෝරාගෙන ඇති අතර ඉන් අවසන් වටය සඳහා පිවිසීමට හැකිව ඇත්තේ නම් නවයකට පමණයි. අදාළ නම් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර ඇති අතර වඩාත් කැමති නාමය සඳහා ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ ජනතාව වෙත ලබාදී ඇත. ඒ අනුව වඩාත් ජනතා ප්‍රසාදය දිනාගන්නා නාමය 2020 අඟහරු ගමනේ රෝවරය නම් කිරීමට යොදා ගැනෙනු ඇත.