
සිය සාමාජිකත්වයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍ය ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජනවාරි මස 31 වැනිදා සිකුරාදා මධ්‍යම රාත්රියේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇත. බ්‍රිතාන්‍ය පසුගිය වසරේ මාර්තු මස 31 වැනිදා යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමේ සූදානමින් පසුවිය. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම එකඟවිය හැකි පොදු සම්මුතිය ගොඩනඟා ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් එම වැඩපිළිවෙළ අවස්ථා තුනකදී කල්ගියේ බ්‍රිතාන්‍ය දේශපාලනයද දැඩි සේ අස්ථාවර කරමිනි.
කෙසේ නමුත් දැන් අවසානයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ ඉදිරිපත් කළ නව බ්‍රෙක්සිට් යෝජනාවලිය සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය හිමිව තිබේ. මේ අනුව නව යෝජනාවාලිය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 621ට 49ක් ලෙසින් අනුමැතිය හිමිව තිබේ. මෙය සංකේතවත් කරමින් වෙන්ව යාමේදී වඩාත් ප්රකටව ගායනා කරන පද්‍යයක් වන ඕල්ඩ් ලෑන්ග් සයින් ගීතය ගායනා කිරීමටද එහි සිටි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කටයුතු කළේය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වීමෙන් පසුව මාස 11ක පරිවර්තන කාලසීමාවක් වෙන්කර තිබේ. දෙපාර්ශ්වය අතර ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම මෙම පරිවර්තනය කාලසීමාවේ අපේක්ෂාවයි.
2016 වසරේදී පැවැති ජනමත විචාරණයකදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට එහි ජනතාව තීන්දු කළේය. එහෙත් බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ නොසිතූ අයුරින් අසාර්ථක විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ අගමැතිනි තෙරේසා මේ ට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවීමයි. කෙසේ නමුත් ඉන්පසුව බලයට පත්වූ අගමැති බොරිස් ජොන්සන් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් නැවත මැතිවරණයක් කරා යොමුවිය. එහිදී පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය අගමැතිවරයාගේ පක්ෂය වෙත හිමිවුණේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කරමිනි.