2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ග්‍රීසිය පාලනයටත් වළලු දැමූ අතක්!

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

ග්‍රීසියේ උසස් විනිසුරුවරියක වන කැටලිනා සකලාරපුලු එරට පළමු ජනාධිපතිවරිය ලෙසින් තේරී පත්ව තිබේ. ග්‍රීසියේ දේශපාලන ඉතිහාසය අලුත් කරමින් නව ජනපතිනිය ලබන මාර්තු මාසයේදී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ප්‍රංශයේදී ඉගෙනුම ලබා ඇති, නව ජනාධිපතිනි කැටලිනා වැඩි ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන සිටින්නේ, ව්‍යවස්ථා මෙන්ම පරිසර නීති විශාරදවරියක් ලෙසයි. එමෙන්ම එරට රාජ්‍ය කවුන්සිලයේ සභාපතිනිය ලෙසින්ද ඇය කටයුතු කර තිබේ. ඒ එවන් උසස් තනතුරකට පත්වූ පළමු ග්‍රීක කාන්තාව බවට පත්වෙමින්ය.

එරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව ඇය තෝරාගන්නා ලදි. නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ. එහිදී ඇයට සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 261 දෙනෙකුගේ ඡන්දය හිමිවීම විශේෂත්වයකි. ඡන්දයෙන් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ අගමැති මිට්සොටාකස් අවධාරණය ක‍ළේ නව ජනාධිපතිවරියගේ පත්වීම ග්‍රීසියට නැවුම් යුගයක් උදාකරන බවයි.