2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ගිනි නිවන්න ගිය යානයත් ගින්නට!

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ගිනිනිවීම් ගුවන් යානයක් කඩා වැටීමෙන් ඇමෙරිකානු වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. නිව්සවුත් වේල්ස්හි ස්නෝවි මවුන්ටන් නමැති කඳුකර ප්‍රදේශයේදී සිදුවූ මෙම ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ගුවන් අනතුර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද ශෝකය පළකර තිබිණි.

නිව් සවුත් වේල්ස්හි ග්‍රාමීය ගිනි නිවීම් සේවාව පැවසුවේ, ලැව්ගිනි පාලනය කිරීම සඳහා පළපුරුදු සහ ප්‍රසිද්ධ කාර්ය මණ්ඩලයක් ඔස්ට්‍රේලියාව විසින් කොන්ත්‍රාත් පදනම මත සේවයට ගත් බවය. මෙම Hercules C-130 ජල ප්‍රහාරක ගුවන් යානය කල්බදු පදනම මත ලබාගෙන ඇත්තේ උතුරු ඇමෙරිකානු සමාගමක් වන Coulson Aviation ආයතනයෙනි. ජීවිතක්ෂයට පත් තිදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර බලධාරීන් පැවසුවේ, ඔවුන් ඇමෙරිකානු වැසියන් බවය. මෙම C-130 Hercules ගුවන්යානය ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කැනේඩියානු ගිනි නිවීම් සමාගමක් වන Coulson Aviation ආයතනයට අයත් වූවකි. එම සමාගම වසර 30කට පෙර ආරම්භ කර ඇති අතර “පැය 110,000 අධික ආරක්ෂිත ගුවන් මෙහෙයුම් කාලයක් මෙහෙයුම්වල නිරතව තිබේ.” එම ගුවන් යානය තුළ ජලය හෝ වෙනත් ගිනි නිවීම් ද්‍රව්‍ය ලීටර් 15,000ක් රැගෙන යා හැකිය. එයට සැතපුම් 2000ක පමණ භූමි වපසරියක පැයට සැතපුම් 400ක වේගයකින් මෙහෙයුම්වල නිරත වීමට හැකිය. ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය සිය ගිනි නිවීම් මෙහෙයුම් සඳහා එම මාදිලියේ ගුවන් යානා යොදාගන්නේ 1950 වසරේ සිටය.

නිව් සවුත් වේල්ස්හි ප්‍රධාන අමාත්‍ය ග්ලැඩිස් බෙරිජික්ලියන් පැවසුවේ උණුසුමත් සුළඟ නැවත ආරම්භ වීමත් සමග ප්‍රාන්තය පුරා ලැව් ගිනි 80 කට වැඩි සංඛ්‍යාවක් පැතිරෙමින් තිබෙන බවය. අනතුරට පත් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන හෙයින් ගුවනින් ජල ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් සියල්ල අත්හිටුවා ඇත.