
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සෙල්ලක්කාරයෙකි. ඔහු සාම්ප්‍රදායිකව සෑම වර්ෂයකදීම පවත්වන ප්‍රදර්ශනාත්මක අයිස් හොකී තරගයකට සහභාගී වී සිටින ඡායාරූප පසුගිය සතියේ කැපී පෙනෙන ප්‍රසිද්ධියක් ලැබීය. රුසියාවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා සමඟ මෙම ප්‍රදර්ශනාත්මක අයිස් හොකී තරගයට සහභාගී විය. තවත් රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකී ක්‍රීඩකයින් රුසක් මෙම තරගයට සහභාගීව සිටියහ.


නත්තල් දිනයේදී පැවැති මෙම තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටීම විශේෂත්වයකි. රුසියාවේ පැවැත්වෙන දේශීය රාත්‍රී අයිස් හොකී තරගාවලියේ තවත් එක් තරගයක් ලෙස මෙය පැවැත්වීය. රුසියාව තුළ අයිස් හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා 2011 වසරේදී ව්ලැද්මීර් පුටින් විසින් මෙම දේශීය රාත්‍රී අයිස් හොකී තරගාවලිය හඳුන්වා දුන් බව සඳහන් වේ. තමා සහ රුසියාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට රුසියානු ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ කටයුතු කර තිබේ. වසර ගණනාවක් තුළ නායක පුටීන් විසින් නිකුත් කරන ලද මෙවන් ඡායාරූප මගින් ඔහු ශක්තිමත් පුද්ගලයෙකු බව පෙන්වීමට උත්සාහ කර ඇත. 2014 වසරේ පැවති හිම ඔලිම්පික් උළෙලේ සත්කාරක රට බවට පත්වෙමින් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ රුසියාවේ නම තැබීමටද ඔහු කටයුතු කර තිබේ.