
නොර්වේ රාජ්‍යයේ මෙදා නත්තල ඇරැඹුණේ ශෝකජනක ආරංචියක් සමගිනි. ඒ එරට රජුගේ හිටපු බෑනන්ඩිය වන සුප්‍රකට ගත් කතුවරයකුගේ මරණය පිළිබඳ පුවතය. නෝර්වේ රාජ්‍යයේ මාර්තා ලුයිස් කුමරියගේ හිටපු ස්වාමිපුරුෂයා වූ ජනප්‍රිය ගත් කතුවරයෙක් වන අරී බෙන් සියදිවි හානිකරගෙන ඇති බව පවුලේ උදවිය වාර්තා කළහ.
1972 සැප්තැම්බර් 30 ඩෙන්මාර්කයේ ආර්හූස් හී දී උපත ලබා ඇති අරී මිකායෙල් බෙන් මියයන විට 47 වැනි වියේ පසුවුණි. නොර්වේහි පස්වැනි හැරල්ඩ් රජුගේ සහ සොන්ජා රැජනගේ වැඩිමහල් දියණිය වූ මාර්තා ලුයිස් කුමරිය සමගින් ඔහු විවාපත් වූයේ 2002 වසරේදීයි. පසුව 2016 දී ඔවුන්ගේ විවාහය දික්කසාදයකින් අවසන් වුණි. අරී බෙන් එරට සාර්ථක ලේඛකයෙකි. කෙටිකතා එකතු 3ක්, දිගු නවකතා 3ක්, නාට්‍ය3ක් ලියා ඇති ඔහු වාර්තා චිත්‍රපට කිහිපයක්ද රූපවාහිණිය සඳහා ඉදිරිපත් කර ඇත. බෙන්ගේ “Sad as hell” කෙටිකතා එකතුව පිටපත් ලක්ෂයත් පන්නා අලෙවි විය. එය ජර්මන් ප්‍රංශ ඇතුළු භාෂා 5කට පරිවර්තනය වී ඇත. ඔහු කුමරිය සමග එක්ව තමන් දෙදෙනාගේ මංගල්ලය ගැන පොතක්ද ලියා පළ කෙළේය.