2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

බොරිස්ගේ බඹරය වැල්ලේ කැරකෙයි

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 181

වසර 100කට පමණ පසුව සීතල උඳුවප් මාසයේ පැවැත්වෙන ඓතිහාසික නත්තල් මහ මැතිවරණයක් සඳහා එංගලන්ත වැසියෝ හිම මිදෙන සීතලේ ඉකුත් බ්‍රහස්පතින්දා ඉදිරිපත්වූහ. එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය පුරා මැතිවරණ කොට්ඨාස 650ක් වෙනුවෙන් ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 7.00 සිට ඇරඹුණි. මූලික ප්‍රතිඵල මගින් සනාථ වූයේ අගමැති බොරිස් ජොන්සන්ගේ පක්ෂයට ප්‍රබල ජයක් අත්වන බවය. ඒ අනුව දෙවැනි ලෝක යුද සමයෙන් පසු භාරධූර වෙනසකට එරට මුහුණදෙන ඓතිහාසික අවස්ථාව මෙය වනු ඇත. කම්කරු පක්ෂනායක ජෙරමි කොබින්ට අකුලාගන ගෙදර යන්නට සිදුවන ලකුණු කලින්ම පහළ වී තිබුණි. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට බොරිස්ගේ බඹරය වැල්ලේද කැරකෙන බව තහවුරු විය. අන්තිමේදී කොන්සර්වේටිව් පක්ෂය ආණ්ඩුවකට අවශ්‍ය බහුතරය සපුරමින් ආසන  364ක් ලබාගෙන, ආසන 203ක් ලබාගත් කම්කරු පක්ෂයට වඩා ආසන 161කින් ඉදිරියෙන් සිටියේය. එංගලන්තයෙන් වෙන්වීමට ඕනෑ බව කියන ස්කොට් ජාතික පක්ෂය ඔවුන්ගේ කලාපයේ සිය බලය තහවුරු කර තිබුණි.

‘බ්‍රෙක්සිට්’ පලහිලව්ව නිසා පසුගිය කාලය තුළ නිර්මාණය වූ දේශපාලන අස්ථාවරත්වය  මහා බි‍්‍රතාන්‍යය තුළ තවත් හදිසි මහ මැතිවරණයකට මඟපෑදීය. අන්තිමේදි බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට 2020 වර්ෂයේ ජනවාරි 31තෙක් කල් ලබාදී තිබුණි. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් නිසි එකඟතාවකට පැමිණීමට අසමත් වූ නිසා හදිසි මහමැතිවරණයක් පැවැත්වීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කළේය. ඒ අනුව අගමැතිවරුන් තිදෙනෙක් ගෙදර යවමින් වසර හතරක් තුළ පැවැත්වූ තෙවැනි මහ මැතිවරණය බවට මෙය පත්විණි. මෙහිදි මිලියන 46ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, ඡන්ද කොට්ඨාස 650ක මැතිවරණය පැවැත්විය. මීට පෙර 2015 සහ 2017 වසරවලදීද එක්සත් රාජධානියේ මහ මැතිවරණය පැවැත්විණි. මෙම මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 650 දෙනෙකු තෝරා ගැනෙන්නේ, මැතිවරණ කොට්ඨාස ජය ගැනීමේ පදනම මතය.

සාම්ප්‍රදායිකව එක්සත් රාජධානියේ මැතිවරණ පැවැත්වෙන්නේ, වසර 5කට හෝ 4කට වරකි. කෙසේ වෙතත්, දෙසැම්බර් මාසයේදී මහ මැතිවරණයක් අවසන් වරට පවත්වා ඇත්තේ, 1923 වසරේදීය. වයස අවුරැදු 18 හෝ ඊට වැඩි බ්‍රිතාන්‍ය පුරවැසියන් හෝ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටක පුරවැසිභාවයට සුදුසුකම් ලැබූවන්ට මහ මැතිවරණයේ ඡන්දදායකයින් ලෙස ලියාපදිංචි විය හැකිය. ඔවුන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 26 වැනිදා අවසන් කෙරිණි. මෙවර මහ මැතිවරණය බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ට දුෂ්කර තේරීමකට මුහුණදීම සිදුවූවකි. විශේෂයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්පූර්ණ කිරීම හෝ යළි ඒ ගැන සලකා බැලීම මෙම මැතිවරණ ප‍්‍රතිඵල අනුව තීරණය වනු ඇත.

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණ උණුසුම ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින අතරවාරයේ පාලක කොන්සර්වේටිව් සහ ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබූ මැතිවරණ ප්‍රකාශනයන්හි අන්තර්ගත ශ්‍රී ලංකාවට අදාළ කරැණු  හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අතර බලවත් නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී තිබිණි.

බ්‍රිටිෂ් - එක්සිට් (British exit) යන්න කෙටිකර බ්‍රෙක්සිට් (Brexit) යන වචනය යොදාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමේ තීන්දුව සඳහාය. යුරෝපා සංගමය යනු රටවල් විසි අටකින් සැදුම්ලත් දේශපාලනික සහ ආර්ථික එකමුතුවකි. ඒ හරහා සාමාජික රටවල් අතර වෙළඳාම් මෙන්ම පුරවැසියන්ට ඒ ඒ රටවල් අතර පහසුවෙන් ගමන් කිරීමට සහ රැකියා කිරීමට අවස්ථාව හිමිවේ.

එවක යුරෝපා ආර්ථික ප්‍රජාව (European Economic Community) යනුවෙන් හඳුන්වන ලද යුරෝපා සංගමයට බ්‍රිතාන්‍ය එක්වූයේ 1973 වසරේදීය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමත විචාරණය 2016 වසරේ ජූනි 23 වැනිදා පැවැත්විණි. එහිදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නොඑසේ නම් යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතුද? යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබීය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව පවසමින් 52%ක් (මිලියන 17.4) ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව පවසමින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 48% (මිලියන 16.1) කි. බ්‍රිතාන්‍යවාසීන්ගේ මතය ප්‍රකාශයට පත් වූ නමුත් එය ඒ මොහොතේදීම ක්‍රියාත්මක නොවිණි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ 2019 මාර්තු 29 වැනිදාය. දැන් එයට 2020 වර්ෂයේ ජනවාරි 31තෙක් කල් ලබා දී තිබේ. මේ වතාවේ ඉක්මන් ඉවත්ව යාමකට ඉඩ සැලැසී තිබේ.