2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

අලුත් පුරවැසි පනතක් ඉන්දියාව ගිනි තබයි!

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

ආන්දෝලනාත්මක පුරවැසි පනතකට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා හටගෙන තිබේ. අසල්වැසි මුස්ලිම් රාජ්‍යයන්වල සිටින හිංසනයට ලක්වූ සුළුජාතීන්ට පුරවැසිභාවය පිරිනැමීම සඳහා ගෙන එන ලද මෙම පනත ඇතැම් ඉන්දීය ජනතාව ප්‍රකෝප කිරීමට සමත් ව ඇත.

2014 වර්ෂයේ දෙසැම්බර් 31වැනි දිනට පෙර, මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන රටවල්වල්වල සිට ඉන්දියාවට පලා ආ හින්දු, බෞද්ධ, ජෛන, සික්, ක්‍රිස්තියානි වැනි සුළු ආගමික ජන කොටස්වලට අයත් අනවසර සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබාදිය හැකිවන පරිදි ඉන්දීය පුරවැසි පනත සංශෝධනය කර තිබේ. සංශෝධිත පනතට මීට දින කිහිපයකට පෙරදී ලෝක් සභාවේ අනුමැතිය හිමිවූ අතර පසුව එය රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කළේය. රාජ්‍ය සභා ඡන්ද විමසුමේදී ඡන්ද පනතට පක්ෂව ඡන්ද 125ක් හිමිවූ අතර ඊට විපක්ෂව හිමිවුණේ ඡන්ද 105ක් පමණයි.

නව පනත යටතේ පාකිස්තාන, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ යන රටවල මුස්ලිම් නොවන සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය හිමිවනු ඇත. ඉස්ලාම් රාජ්‍යයන්වලදී හිංසනයට ලක්වූ මුස්ලිම් නොවන සුළුතර ජනතාවට, එනම් පාකිස්තානයේ බංග්ලාදේශයේ සහ ඇෆ්ගනිස්තානයේ වෙසෙන හින්දු, බෞද්ධ, ජෛන, සික් වැනි සුළුතර ජන කොට්ඨාසවලට මෙම නව පනත යටතේ ඉන්දීය පුරවැසිභාවය ලබාගත හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසා තිබේ.

නමුත් අදාළ පනත යටතේ අසල්වැසි බංග්ලාදේශයේ සිටින හින්දු සංක්‍රමණිකයන් දහස් ගණනින් ඉන්දියාවට පැමිණේ යැයි සමහර විරෝධතාකරුවන් බිය පලකර තිබේ. අදාළ පනත මුල්වරට හඳුන්වා දුන්නේ 2016 වර්ෂයේදීයි. එහෙත් එවකට පැවති රජයේ පාර්ශවකරුවෙක්ගෙන් සහ ජනතාවගෙන් එල්ල වූ විරෝධය මත එය හකුලා ගැනීමට රජයට සිදුවිය.

මෙවරද පුරවැසිභාවය පිළිබද සංශෝධිත පනත් කෙටුම්පත එලෙස ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ ඊට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවක් ක්‍රියාත්මක වන පසුබිමකදීය. ටයර් පුළුස්සමින් මෙන්ම පොදු දේපළවලට හානි කරමින් අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශවල දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වේ. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අවස්ථා කිහිපයකදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළද, මෙතෙක් විරෝධතා අවසන්ව නොමැත. විරෝධය හේතුවෙන් මේ වනවිට ගුවාති නගරයට ඇඳිරි නීතියද පනවා තිබේ.

මේ හේතුවෙන් ත්‍රීපුරා, ඇසෑම්, මිසෝරාම් ඇතුළු ප්‍රදේශ රැසක දෛනික කටයුතු අඩාල වී තිබේ. පැය 48 ක කාලයක් සඳහා එම ප්‍රදේශවල එස්.එම්.එස්. පණිවුඩ සේවාව මෙන්ම අන්තර්ජාල සබඳතාද අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඊට අමතරව පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම අධ්‍යාපන ආයතනවල පැවැත්වීමට නියමිත විභාග දින නියමයක් නොමැතිව කල් දැමිණ. ඇසෑම් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සර්බනන්දා සොනෝවල්, ගුවාහතී ගුවන් තොටුපළේ සිරවී සිට ඇත්තේ ඒ අවට පවතින විරෝධතා හේතුවෙනි.

කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එම නව පනත ඊසාන දිග ඉන්දියාවට වාර්ගික වශයෙන් මධ්‍යම රජය එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරයක් බවයි. එහෙත් එය ඉන්දීය ඉතිහාසයේ සහෝදරත්වය පිළිබඳ සංධිස්ථානයක් බව පනත සම්මත වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් තබමින් පැවසුවේය. දැන් මෙම සංශෝධිත පනත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට එරට විපක්ෂ දේශපාලනඥයින් සූදානම් වෙති. අදාළ පනත ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටින සුළු ජාතික සංක්‍රමණිකයන්ට අදාළ වන අයුරින් විස්තීරණය නොකරන්නේ ඇයිද යනුවෙන් දකුණු ඉන්දීය සිනමා නළු සහ දේශපාලනඥයෙකු වන කමල් හසන් ඉන්දීය රජයෙන් ප්‍රශ්න කර තිබේ. විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන්නේ මෙය මුස්ලිම් විරෝධී පනතක් නොවන බවයි.

එබැවින් ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට ඉන් කිසිදු බලපෑමක් නොවන බවත් ඉහත කී ඉස්ලාම් රාජ්‍යයන් තුනේදී හිංසනයට ලක්වූ සුළුජාතීන්ට පමණක් මේ යටතේ පුරවැසිභාවය පිරිනමන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර නව ඉන්දීය පුරවැසි පනත සංශෝධනය කිරීමෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ද්විපාර්ශ්වික ගිවිසුම උල්ලංඝනය වී ඇති බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියා තිබුණි.