2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

වයිට් දූපතේ කළුගිනි කන්ද!

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

‘වකාරි’ (Whakaari) නමින්ද හඳුන්වනු ලබන ‘වයිට් අයිලන්ඩ්’ ගිනි කන්ද නවසීලන්තයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳු අතරින් එකකි. ඉකුත්දා සංචාරකයින් පිරිසක් ගිනිකන්ද නැරඹීමට ගොස් සුළු වේලාවකින් එය සක්‍රීය වීමෙන් සිදුවූයේ මහා ඛේදවාචකයකි. පුපුරා යාමට මොහොතකට පෙර ‘වයිට් අයිලන්ඩ්’ (White Island) ගිනිකඳු විවරය වටා සංචාරකයන් ඇවිද යමින් සිටිනු දැක ඇත.

වාර්තාවන්ට අනුව දූපතේ ගිනිකන්ද විදාරණය වන අවස්ථාවේදී එහි සංචාරකයන් 50 දෙනෙක් සිටි අතර ඒ අතරට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, අමෙරිකාව, බ්‍රිතාන්‍ය යන රටවල සංචාරකයන්ද අයත්ය. ගිනිකඳු විදාරණයෙන් පසු ඒ මොහොතේ දූපතේ සිටි පුද්ගලයින් 34 දෙනෙක් රෝහල්ගත කෙරුණු අතර ඉන් 20කට වැඩි පිරිසක් තවමත් පසුවන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබමිනි. ඔවුන්ගෙන් වැඩිදෙනා දැඩි පිලිස්සුම් සහිතව සිටිති. එම සිදුවීමෙන් පුද්ගලයින් අටදෙනක් මියගොස් ඇතැයි දැනට තහවුරු වී ඇති අතර අතුරුදන් වූ තවත් පුද්ගලයින් අටදෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැත. මියගිය පිරිසගේ සිරුරු එක්රැස් කිරීම සඳහා අසීරු මෙහෙයුමක් ආරම්භ කර ඇත. ගුවන් මාර්ගයෙන් ගොස් මළසිරුරු 6ක් දැනටමත් ඉවත් කරගෙන තිබේ. කෙසේ නමුත් මියගිය බවට තහවුරු වූ ඉතිරි දෙදෙනාගේ සිරැර සොයාගැනීම ඉතාමත් අසීරැ වී ඇත. ලෝකයේ වඩාත් සක්‍රීයම ගිනිකඳු පිහිටි ස්ථානයක් ලෙස නවසීලන්තයේ වයිට් දූපත සැලකෙයි.