
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඇරැඹුණු ලැව්ගින්න මේ දිනවල තවත් ප්‍රාන්ත කරා පැතිර ගොසිනි. ලැව්ගිනි හේතුවෙන් නිව් සවුත්වේල්ස්හි අගනුවර වූ සිඩ්නි නුවර දුමාරයෙන් වැසී ගොසිනි. පසුගිය සති කිහිපයේදී නිරන්තරයෙන් වාර්තා වූ ලැව්ගිනි සියයකට ආසන්න ප්‍රමාණයක් සිඩ්නි නගරය අගනුවර කරගත් ජනාකීර්ණ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර ගියේය. ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි නගරය වෙත හමා ආ දුමාරය හේතුවෙන් සිඩ්නි හි ලෝ ප්‍රකට සංචාරක ආකර්ෂණයක් වූ සිඩ්නි වරාය පාලම හා ඔපෙරා නෘත්‍ය ශාලාව ද ඇතුළු එහි ප්‍රධාන ගොඩනැගිලි සියල්ලම පාහේ දුමාරයෙන් වැසී ගොසිනි.
පවතින අධික දුමාරය හේතුවෙන් සිඩ්නි නුවර වැසියන් දැඩි අපහසුතාවට පත්ව සිටියි. දුමාරයෙන් වැසී ගොසිනි. මෙම තත්ත්වය හේතුවෙන් මිලියන 05 ක් සිඩ්නි නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි අවදානමක් එල්ල වී තිබේ. බලධාරීන් පෙන්වා දෙන්නේ, මේ වන විට නගරයේ වායුගෝලයේ පැවතිය යුතු තත්ත්වය මෙන් දස ගුණයකට වඩා වැඩි අහිතකර වායු කොටස් පවතින බවය. මේ හේතුවෙන් නගරවැසියන්ට නිවාස තුළම රැඳී කාලය ගත කරන ලෙසත් ඔවුන් උපදෙස් දී තිබේ. සති ගණනාවක් පුරාවට ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් හතර දෙනෙක් මියගොස් තිබේ. ඉන් නිවාස 300 ක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, දැවී ගිය වනාන්තර ප්‍රමාණය අක්කර මිලියන 2.5 කි.
මේ අතර ඉකුත් සතිය අග ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්ත දෙකක ලැව්ගිනි අවදානම මතුව තිබුණි. අදාළ ප්‍රාන්ත දෙකට ව්‍යසනකාරී ලැව්ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ දකුණු ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ප්රාන්තවලය. ඒවායේ දරුණු ලැව්ගිනි අවදානමක් මතුව තිබේ. ලැව්ගිනිවලින් වඩාත් දරුණු ලෙස බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන්නේ දකුණු ඔස්ට්‍රේලියා ප්රාන්තයටයි. දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ලැව්ගිනි 50 ක් පමණ හටගෙන ඇති අතර ඒවා මැඩපැවැත්වීමට බලධාරීන් යුහුසුළුව කටයුතු කරමින් සිටියි.
මේ වන විට ලැව්ගිනි අවදානම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසල් සියයක් පමණ වසා දමා තිබේ.
මේ දිනවලදී කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක පමණ ඉහළ අගයක් ගෙන ඇති අතර වියළි හා සැඩ සුළඟක් ද දක්නට ලැබෙයි. කාලගුණ අංශ අනාවැකි පළකර ඇත්තේ පවතින මෙම වියළි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වනු ඇති බවටයි.