
සෙනසුරුගේ මෙතෙක් සැඟව තිබූ චන්ද්‍රයන් 20ක් අලුතෙන් සෙයාගෙන ඇත. ග්‍රහ මණ්ඩලයේ 6 වැනි ග්‍රහයා වන සෙනසුරු වටා ඇතැයි මෙතක් හඳුනාගෙන තිබුණේ චන්ද්‍රයින් 62කි. එයින් නම්කර තිබුණේ 53කි. එහි ලොකුම චන්ද්‍රයා ටයිටන්ය. සෙනසුරුගේ 6 වැනි චන්ද්‍රයා ගැනද ඉකුත් සතියේ කතාබහ ඇතිවූයේ එයින් ජීවයේ සලකුණු මතු වූ නිසාය. ඒ අතර අන්තර්ජාතික තාරකාවිද්‍යා සංගමය විශාල දූරේක්ෂ මගින් සහ නිරීක්ෂණ ඇසුරෙන් මෙතෙක් සැඟව සිටි නවතම චන්ද්‍රයින් 20 දෙනෙක් සොයාගත් බව තහවුරු කළේය.
අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් වැඩිම ග්‍රහයා ලෙස පසුගිය (7දා) සඳුදා වනතුරු සැලකුණේ ග්‍රහ පවුලේ යෝධයා වන බ්‍රහස්පතිය. එය වටා චන්ද්‍රයින් 79ක් ඇති බව හඳුනාගෙන තිබුණි. ඒ වනවිට සෙනසුරු වටා චන්ද්‍රයින් 62ක් ඇති බව තහවුරුව තිබුණි. නමුත් අලුත් සොයාගැනීමත් සමඟ සෙනසුරුගේ චන්ද්‍රයින් ගණන 82 දක්වා ඉහළ ගොසිනි. මේ නිසා මෙතෙක් ග්‍රහ පවුලේ වැඩිම වළලු දරන්නා ලෙස සැලකුම් ලද සෙනසුරු දැන් වැඩිම චන්ද්‍රයින් ගණනක් දරන්නා බවටද පත්ව හමාරය.
වොෂින්ටනයේ කානගී සරසවියේ තාරකා විද්‍යාඥ ස්කොට් ෂෙෆර්ඩ් මේ නව සොයා ගැනීම සිදුකළ තැනැත්තාය. ඔහු පසුගිය වසරේ බ්‍රහස්පතිගේ නව චන්ද්‍රයින් 12දෙනා සොයාගත් තැනැත්තාමය. බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් ගණන79ක් වූයේ එම සොයාගැනීමත් සමගිනි.
අලුත් සෙනසුරු චන්ද්‍රයින් ප්‍රමාණයෙන් ඉතා කුඩාය. විෂ්කම්භය සැතපුම් 3ක් 5ක් පමණය. එයින් 17ක්ම ගමන් ගන්නේ අනෙකුත් චන්ද්‍රයින්ගේ ගමන් මගට ප්‍රතිවිරුද්ධ අතටය. අනෙකුත් සෙනසුරු චන්ද්‍රයින් ග්‍රහලොව කැරකෙන තලයට සමාන්තර තලයක ගමන් කරන අතර මේ අලුත් චන්ද්‍රයින් අතරින් 17ක්ම අනෙක් අතට යති. ඒවා සෙනසුරු වටා යන්නට වැඩි කාලයක්ද ගනිති. Cassini සහ Voyager වැනි ගවේෂණ යානා සෙනසුරු කරා ළඟාවුවත් ඉහත හේතූ නිසාම මේ චන්ද්‍රයින් ඒවාට හදිගැහුණේද නැත. මේ සොයාගැනීමද වෙනත් බොහෝ සොයාගැනීම් මෙන්ම පෘථීවිය මත සිට කළ නිරීක්ෂණ මගින් කළ හපන්කමකි. හවායි දූපතේ මෝනාකීයා ගිනිකඳු මුදුණේ අඩි 13,800ක් ඉහළ පිහිටුවා ඇති මීටර 8.2ක් වූ ලොව එකම විශාල තනිකාචයක් දරන සූබාරූ දුරේක්ෂය මගින් පසුගිය දශකය තුළ රැස්කරගත් දත්ත සහ ඡායාරූප විශ්ලේෂණය මගින් සිදුකළ එළිදරව්වකි.
තාරකා විද්‍යාඥ ස්කොට් ෂෙෆර්ඩ් පවසන්නේ සෙනසුරු වටා තවත් චන්ද්‍රයන් 100ක් පමණ ඇති බවය. ඒවා බොහෝමයක් සැතපුමකටත් අඩු විෂ්කම්භයක් සහිතය. ඒවායේ කුඩා බවත් ඉතා ඈත දුරක පිහිටීමත් හේතුවෙන් මේ චන්ද්‍රයින් සොයාගන්නට තවත් විශාල සහ ප්‍රබල දුරේක්ෂ බිහිවනතුරු ඉවසා සිටින්නට සිදුවන බව තාරකා විද්‍යාඥ ස්කොට් ෂෙෆර්ඩ් පවසයි.