
මේ වනවිට ඉක්වදෝරයේ ක්විටෝ අගනුවර දින 8කටත් වැඩි කාලයක් දෛනික වැඩකටයුතු මුළුමණින්ම අඩාල වී ඇත. ප්‍රකෝපකාරී ජනතාව වීදිපුරා සරති. මේ හේතුවෙන් පරිපාලන කටයුතු තාවකාලිකව වෙනත් නගරයකට ගෙන යෑමටත් ජනාධිපතිවරයා නියෝග කර තිබුණි. කම්කරු හා බදු ප්‍රතිසංස්කරණ යෝජනාවකට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික වැසියන් ආරම්භ කළ විරෝධතාව මේ වනවිට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇති හෙයිනි. දෙදෙනෙක් මියගොස් තුවාලකරුවන් රැසක්ද වාර්තා වී ඇති මේ විරෝධතාවයේදී 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව වෙත කඩාවැදී ඇති අතර වීථිවල ජනතාව එක්රුස් වී සිටීම හේතුවෙන් නගරයේ ප්‍රවාහන කටයුතුද ඇණහිට ඇත. ඇමේසන් වනගහනය ආශ්‍රිතව ඇති තෙල් කැණීම් බිම් 3ක් විරෝධතා හේතුවෙන් වසා දමා තිබේ. විරෝධතාව පාලනයට පොලිසිය මැදිහත්වීමත් සමග ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් රට තුළ උද්ගතව ඇත.

පොලිස් බාධා කිරීම් නොතකා එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩාවැදුණු විරෝධතාකරුවෝ එහි දේපළවලට හානි සිදුකර තිබුණි. එහිදී විරෝධතාකරුවන් පන්සීයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විරෝධතාව මේ වසරේදී එරටින් වාර්තා වූ දරුණුම විරෝධතාවයි. පසුගිය දශක කිහිපය තුළ ඉක්වදෝරයේ ස්වදේශික ජනයා පැවැත් වූ විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරුන් තිදෙනෙකුට ඉල්ලා අස්වීමට සිදුවිය. මෙය පාලනය කිරීම සඳහා ජගත් සංවිධානයට හෝ රෝමානු කතෝලික දේවස්ථානයට හෝ මැදිහත් වීමට ඉඩදෙන බව රජය කියා ඇත.