2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්!

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිල දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා එරට ඩිමොක්‍රටික් පක්ෂය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ සිය දේශපාලනික ප්‍රතිවාදියෙකුට හානි කිරීම සඳහා විදේශ බලවේගයක් මෙහෙයවූ බවට එල්ල වී ඇති චෝදනා මුල් කර ගනිමිනි. ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපතිවරයා අතර සිදුවූ බව කියන දුරකතන සංවාදයක් මෙයට සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබේ. දෝෂාභියෝගය එසේ වුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තුන්වැනි ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.

ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් තමාට වාසි සැලසෙන පරිදි පියවර ගන්නා ලෙස යුක්රේනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පිළිගෙන තිබෙනවා යැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකාවද වන නැන්සි පෙලෝසි සඳහන් කළාය. “මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතුයි. කාටවත් නීතියට ඉහළින් යන්න බෑ” යැයි කී ඇය ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් “වගකීම භාර ගත යුතු,” බව කීවාය.

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තරග කිරීම සඳහා පෙරමුණේ සිටින දේශපාලනඥයා ජෝ බයිඩන්ය. ජෝ බයිඩන් පිළිබඳව විමර්ශනය කරන ලෙස ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් කර ඇති බවට චෝදනා නැගී තිබේ. මෙම තත්ත්වය හමුවේ, 2020 මැතිවරණයට පෙර ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සහ ජනාධිපතිවරයා අතර දැවැන්ත ගැටුමකට අඩිතාලමක් නිර්මාණය වී තිබේ. 

මෙම දෝෂාභියෝගයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයින්ගෙන් ප්‍රබල සහයක් හිමි වුවද, රිපබ්ලිකන් පක්ෂයේ පාලනයට යටත් සෙනෙට් සභාවේදී එය සම්මත කර ගැනීම දුෂ්කර වනු ඇත. දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයේදී ප්‍රගතියක් නොදකිනු ඇත්තේ, සෙනෙට් මණ්ඩලයේ වැඩි ආසන සංඛ්‍යාවක් ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට ඇති හෙයින් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය ලැබිය නොහැකි හෙයිනි.

කෙසේ වෙතත්, එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙය තමන්ට එරෙහි “මඩ ව්‍යාපාරයක්” බවය. යුක්රේන ජනාධිපතිවරයා සමඟ පැවති අදාළ දුරකතන සංවාදයේ සම්පූර්ණ පිටපතක් බදාදා නිකුත් කර තිබුණි.