2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ඉතාලියේ ග්ලැසියරයක් කඩා වැටේ

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ඉතාලියේ මොන්ට් බ්ලොන්ක් කඳුවැටියේ පිහිටි ග්ලැසියරයේ ඝන අඩි දෙලක්ෂ පනස්දහසක පමණ කොටසක් කඩාවැටීමේ අවදානමක් මතුව ඇතැයි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අදාළ ග්ලැසියරයේ කොටසක් දිනකට සෙන්ටිමීටර් 50ත් 60ත් අතර ප්‍රමාණයකින් පහළට ලිස්සා එමින් ඇති බවට බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණි. එම අවදානම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග රැසක් වසා දමා ඇති අතර කඳුකරයේ කඳවුරැ බැඳ සිටි පිරිස්ද ඉවත් කර තිබුණි.

මොන්ට් බ්ලොන්ක් කඳුවැටිය, බටහිර යුරෝපයේ පිහිටි උසම කඳුවැටියයි. ඉතාලිය සහ ප්‍රංශය අතර අඩි 13,123ක් කඳු හිස් 11කින් මෙය සමන්විතය. ඉහළ යන ගෝලීය උණුසුම එම කඳුකරයට දැඩි අභියෝගයක් බව බලධාරීන් පවසයි. ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ග්ලැසියරවල ආයු කාලය සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබේ. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිටු ප්‍රතිඵලයක් ලෙස අයිස්ලන්තයේ ඔක් ජෝකුල් ග්ලැසියර මියගිය බවට පසුගිය කාලයේ නිවේදනය කෙරැණු අතර ස්විට්සර්ලන්තයේ පිසොල් ග්ලැසියරයද 2030 වර්ෂය වනවිට මිහිමතින් අතුරැදන් වනු ඇති බව විශේෂඥයන් පවසයි.