
සෞදි ගින්න ලෝකයම අවුළුවාලන යුද ගින්නක් බවට පත්වන ලකුණු දැන් පහළ වී හමාරය. සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ වගකීම යේමනයේ ක්‍රියාත්මක හූති කැරලිකරුවන් බාරගෙන තිබුණද, එය ඉරානයේ සිට එල්ල වී ඇති බව අමෙරිකාව පවසයි. සෞදි අරාබියේ අරම්කෝ රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට නියමුවන් නොමැති යානා (ඩ්‍රෝන) යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කෙරුණේ පසුගිය සෙනසුරාදායි. අමෙරිකාව දිගින් දිගටම චෝදනා කළේ ඉරානය එහි වගකීම බාරගත යුතු බවටය. එය යළිත් තහවුරු කරමින් අදාළ ඩ්‍රෝන හා කෘස් මිසයිල ප්‍රහාරය ඉරානයේ සිට එල්ල වී ඇති බව අමෙරිකානු වාර්තාවකින් හෙළිදරව් කර තිබේ. ප්‍රහාරය දියත් කර ඇත්තේ ඉරානයේ දකුණුදිග ඉරාන බොක්ක ප්‍රදේශයේ හා උතුරැදිගින් පිහිටි ස්ථානයක සිට බවද අමෙරිකානු බලධාරීහු පවසති.
රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මෙම ප්‍රහාරය යුධ ක්‍රියාකාරීත්වයක් ලෙස අර්ථකථනය කළේය. පාකිස්ථානය සෞදියේ චෝදනා අනුමත කර තිබේ. සිය රටට එල්ල වී ඇති චෝදනා හමුවේ ඉරාන විදෙස් ඇමැතිවරයා ප්‍රකාශ කළේ තමන්ට යුද්ධයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය. එහෙත් සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට මොහොතක් හෝ පමා නොවන අතර සෞදියෙන් හෝ අමෙරිකාවෙන් එල්ල වන ප්‍රහාරයක් නිසැක යුද්ධයකට මුලපිරීමක් වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. එය සියලු දෙනාගේ ශක්තිය හා සම්පත් වැයවන යුද්ධයක ආරම්භය වනු ඇති බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජවාඩ් සරිෆ් අනතුරු අඟවා තිබේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධයකට පොළඹවා ගැනීමේ ප්‍රයෝගයක් සූක්ෂම අයුරින් ක්‍රියාත්මක ආකාරය පෙනී යන බවයි. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ සෞදි ඔටුන්න හිමි කුමාරයා එහි පාර්ශ්වකරැවන් බවද ඔහු පෙන්වා දී තිබේ.
ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා සහ කෘස් මිසයිල කොටස් බව කියන සුන්බුන් එළිදක්වමින් සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යංශය ඉකුත් බදාදා එම ප්‍රහාරයේ මහ මොළකරු ඉරානය බවට නැවතත් ප්‍රසිද්ධියේ චෝදනා කළේය.


සෞදි ගුවන් ආරක්ෂණ පද්ධතිය යේමන ප්‍රහාරයක් අපේක්ෂාවෙන් දකුණුදිග යේමන කලාපය වෙත මුහුණලා සවිකර තිබීණි. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඉරානය, සෞදියේ මරමස්ථානයක් වූ අරම්කෝ ඉන්ධන පිරිපහදුව ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අමෙරිකා වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කරයි.
ඉරානයේ හිතවාදී කණ්ඩායමක් වන හූති කැරලිකරුවන් යේමනයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරමින් එහි පාලනය පෙරළා දැමීමට උත්සාහ කරමින් පසුවෙයි. අදාළ ගැටුමේදී යේමන රජයේ හමුදා වෙත සෞදි රජයේ සහාය හිමිවන්නේ හූති කැරලිකරුවන්ට හිසරදයක් වෙමින්ය. ඔවුන් සෞදි අරාබිය ඉලක්ක කර ප්‍රහාර ආරම්භ කර ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙසයි.
ලොව විශාලතම තෙල් පිරිපහදුව ලෙසින් සැලකෙන අරම්කෝ රාජ්‍ය ව්‍යාපාරයට අයත් අබ්කයික් හා කුරේෂ් තෙල් පිරිපහදුව යන ස්ථාන වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 20%ක ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර සෞදි අරාබියේ බොර තෙල් නිෂ්පාදනය 50%ක ප්‍රතිශතයකින් අඩාල විය.
මේ අතර අමෙරිකාව සමඟ කිසිදු ආකාරයක හෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි පවසයි. ඉරානය හා ලෝක බලවතුන් කිහිප දෙනෙක් එක්ව 2015 වර්ෂයේදී ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වීමත් සමඟ අමෙරිකාව හා ඉරානය අතර මතභේදය උත්සන්න විය. එය තවදුරටත් වර්ධනය කරමින් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමටත් අමෙරිකාව කටයුතු කළේය. මේ මස අග භාගයේදී නිව්යෝක් හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අතරතුර ඉරාන ජනාධිපති හසන් රුහානි හමුවීමට තමා අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමෙයිනි, අමෙරිකාව සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කර තිබුණේ මෙවන් පසුබිමක් යටතේය. කෙසේ නමුත් 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අමෙරිකාව යළි සලකා බලන්නේ නම් පමණක් බහු පාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වන බවද ඔහු පවසා තිබුණි.