2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පිටසක්වළකින් මුල්වරට ජලය!

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

පිටසක්වලකින් මුල්වරට ජලය සොයාගැනීමට හැකිව තිබේ. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි, පෘථිවියට බෙහෙවින් සමාන කෙප්ලර් ටූ නම් ග්‍රහලෝකය පිළිබඳව විද්‍යාඥයන් මීට පෙර ලොවට හෙළිදරව් කළේය. එම ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ජල වාෂ්ප පවතින බව දැන් නවතම පර් යේෂණයකින් හෙළි වී ඇත.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111ක් දුරින් පිහිටා තිබෙන කේ 2 - 18 බී  නම් වූ අදාළ ග්‍රහලෝකයේ උෂ්ණත්වය පෘථිවියට බෙහෙවින් සමාන වන බවද විද්‍යාඥයෝ පවසති. මෙම ග්‍රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල වන අතර එහි ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් අට ගුණයකි. එහි සූර්යයා අපේ හිරුගේ තරමින් අඩකි. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත දුරස්ථ තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතින ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ජල වාෂ්ප පවතින බව පළමුවරට හෙළි වී ඇත. ඒ අනුව පිටසක්වල ජීවින් පිළිබඳ අධ්‍යයනය සඳහා අදාල ග්‍රහලෝකය බෙහෙවින් සුදුසු බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයකින් ජල වාෂ්ප ඇති බවට අනාවරණය කරගත් පළමු අවස්ථාව මෙයයි. 

නව අභ්‍යවකාශ දුරේක්ෂ භාවිතයෙන් වසර 10ක් ඇතුළත අදාළ ග්‍රහලෝකයේ වායුගෝලය තුළ අඩංගු වායූන් පිළිබඳව නිශ්චය කරගනු ඇත. එහිදී ජීවින් සිටින කලාපයක පමණක් නිපදවෙන වායූන් වර්ග හඳුනාගැනීමට හැකිවනු ඇතැයිද විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. එබැවින් අදාළ ග්‍රහලෝකය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ඇති එකම මග වැඩිදියුණු කරන ලද අභ්‍යවකාශ දුරේක්ෂ යොදාගැනීම පමණකි.