2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

එංගලන්තය නැවත කළඹන බ්‍රෙක්සිට් හුටපටය

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

එංගලන්තය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩපිළිවෙල හෙවත් බ්‍රෙක්සිට් හුටපටය දැන් තවත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. නව අගමැති බොරිස් ජොන්සන්ගේ නිර්දේශය අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලබන සැප්තැම්බර් දහවෙනිදා (10) සිට සති හයකට අක්‍රිය කිරීමට ගෙන ඇති තීරණයත් සමඟය. සැප්තැම්බර් මාසයේ පළමු රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිවරයා දෙවැනි එළිසබත් රැජිනගෙන් ඉල්ලා තිබුණි. සම්ප්‍රදායට අනුව රැජින දැන් එය අනුමත කර ඇත. ඒ අනුව මෙම පාර්ලිමේන්තු අත්හිටුවීම නිමවන්නේ ලබන ඔක්තෝබර් දාහතර (14) වෙනිදාය. අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වූ විට රැජින ඇයගේ ‘රාජාසනයේ කතාව’ පවත්වනු ඇත. රැජිනගේ “රාජාසනයේ කතාවෙන්” පසුව නව බ්‍රෙක්සිට් වැඩපිළිවෙළක් හඳුන්වාදීමට තමන් සූදානම් බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙලෙස පාර්ලිමේන්තුව අත්හිටුවීමත් සමග බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගන්නා පියවරට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු නීතියක් සම්මත කර ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇත.
බ්‍රෙක්සිට් වැඩපිළිවෙළේ අවසන් තීන්දුව ගැනීමට මාසයකටත් අඩු කාලයක් පමණක් තිබියදී මෙලෙස රජය විසුරුවා හැරීම එක්තරා ආකාරයක ඒකාධිපති ප්‍රවේශයක් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කළ පිරිසක් පෙන්වා දුන්නේය. මෙය කුමන්ත්‍රණයක් ලෙසින් ද අර්ථකථනය කළ විරෝධතාකරුවන් යුරෝපා සංගමයේ ධජය රැගෙන දිගින් දිගටම අරගල කළේ ජොන්සන් අගමැතිවරයා විවේචනය කරමින්ය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය පිළිබඳ විද්වතුන් පවසන පරිදි අගමැතිවරයාට පාර්ලිමේන්තුව අත්හිටුවිය හැකිය. එවැනි ක්‍රියාමාර්ගයකට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීමක් අවශ්‍ය නැත. ඒ අනුව අගමැතිවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුව අත්හිටුවීමේ තීන්දුවක් ගැනීමට රැජිනට (හෝ රජුට) බලය ඇත.

කෙසේ වුවද අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව ඔහු අයත් කොන්සර්වේටිව් පක්ෂය තුළින් පවා දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. අගමැතිවරයාගේ නිර්දේශයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අගමැති ජෝන් මේජර් කල්තබාම ප්‍රකාශ කර තිබිණි. පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමට එරෙහිව එල්ල වෙන විරෝධය වඩාත් තීව්‍ර මුහුණුවරක් ගන්නා ලද්දේ, ස්කොට්ලන්තයේ කොන්සර්වේටිව් පක්‍ෂ නායිකා රූත් ඩේවිඩ්සන් එම නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.

අගමැති බොරිස් ජොන්සන්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ බලයේ සිටින්නේ එක් බහුතර ඡන්දයකින් වන අතර, බ්‍රෙක්සිට් වැඩපිළිවෙලට එරෙහි විරෝධය හමුවේ අගමැතිවරයා දැඩි අසීරු අඩියකට පත්ව තිබුණි. බොරිස් ජොන්සන් අගමැතිවරයා තමන්ට කෙසේ හෝ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කිරීමේ වෑයම සාර්ථක කර ගැනීමට අවශ්‍ය බව මින් පෙර ප්‍රකාශ කර තිබුණි. ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩපිළිවෙළට ලේබර් පක්ෂය ඇතුළු විපක්ෂයේ පමණක් නොව, ඔහු නායකත්වය දෙන කොන්සර්වේටිව් පක්ෂයේත් කැරලිකාර මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් මතුවෙමින් තිබුණි. එවැනි වාතාවරණයක් යටතේ දැන් මෙලෙස පාර්ලිමේන්තුව අත්හිටුවීම නිසා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් වී නම් එම අවස්ථාව මග හැරී යයි. ඒ අනුව එළැඹෙන ඔක්තොම්බර් 31 වැනිදාට පෙර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සිදුවන්නට දැන් ඉඩහසර සැකසී ඇති බව විචාරක මතයයි.