2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

රුසියන් රොබෝව තනිවම උඩු ගුවනට !

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

රුසියාව ඉකුත් සතියේ අභ්‍යවකාශ තරණයේ නව පිම්මක් පැන්නේය. ඒ ඉන්දියාව සිය චන්ද්‍රයාන් - 2  සඳ වෙත යවද්දී ලොව පළමු මානවරූපී රොබෝව උඩු ගුවනට යවමිනි. Fodor හෙවත් Skybot F850 ලෙස හඳුන්වා දී ඇති මේ රොබෝව තමන්ම රුසියාවෙන් රොකටය මෙහෙයවා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ගත්තේය. රුසියාවේ මේ අලුත්ම අභ්‍යවකාශ නියමුවාට දී ඇති නමේ තේරුම “හිතමිත්‍රයා” යන්නයි. රුසියාවේ බයිකොනූර් අභ්‍යවකාශ තොටුපලෙන් 22දා Fodor, සිය මංගල අභ්‍යවකාශ ගමන ගියේ රුසියානු Soyuz-2.1 රොකට්ටුවෙනි.

සැප්තැම්බර් 7 වැනිදා නැවත පොළොවට ගොඩබසින රොබෝව අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළදී ක්‍රියාකාරකම් රැසක යෙදීමට නියමිත අතර ඒගැන නිශ්චිත විස්තර මාධ්‍ය වෙත ලබා දී නැත. අඩි 5.9ක් උසැති කිලෝ 160ක් බරැති එය මිනිසෙකු මෙන්ම ක්‍රියාත්මක වීමේ හැකියාව දරන්නකි. එය මිනිස් අත්ලක් තරම්ම සුරුබුහුටි ලෙස ක්‍රියා කරන දෑතකින් සමන්විතය. යුද කටයුතු සඳහා සැලසුම් කළ හෙයින් වෙඩි තැබීම, රේසිං වාහන පැදවීම එයට සුලු දෙයකි. පරිසර වෙනස්කම්වලට සංවේදීව ප්‍රතිචාර දැක්වීමට මෙන්ම තනිව තීන්දුගෙන ක්‍රියාත්මක වීමටද සමත්ය. එය විකිරණ සහ රසායනික බලපෑම් යටතේ ක්‍රියා කළ හැකි මූලික ලෙසම ජිවිත ගලවා ගැනීමේ කටයුතු සඳහා සැලසුම් කළ එකකි. එය කෙතරම් අපුර්වදැයි කිවහොත් ඉංජිනේරු සහ වෛද්‍යමය කටයුතු සඳහා එක සේ යොදාගත හැකිය. කොටින්ම කියතහොත් එහි නිර්මාපකයන් කියන ආකාරයට තමන්ට ස්කයි බොට් නම යොදන ලෙස ඉල්ලා ඇත්තේද රොබෝවමයි. රොබෝව නිපදවීම සඳහා යාන්ත්‍රික කොටස් 15000ක් පමණද වැඩි දියුණු කළ ලීනක්ස් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන යෙදවුමක්ද භාවිතා කර ඇත. වරක් බැටරිය බල ගැන්වූ පසු පැයක කාලයක් වැඩ කිරීමට සමත්ය.