
හොංකොංහි තත්ත්වය මේ වන විට නැවත උණුසුම් වී තිබේ. හොංකොං පාලනය විසින් චීනයට වාසිසහගත ලෙස හඳුන්වාදුන් නව උදර්පණ නීතියට එරෙහිව මීට මාස දෙකහමාරකට පමණ පෙර මහජන විරෝධතා ආරම්භ වූයේය. කෙසේ වෙතත් හොංකොං පාලනය තවමත් විරෝධතාකරුවන්ට සවන්දීමට සූදානම් බවක් පෙනෙන්නට නොමැත. හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කටයුතුද අඟහරුවාදා සිට අඩපණව ගොස් තිබිණි. මුලින් සාමකාමී ලෙස ආරම්භ වූ විරෝධතා ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ සිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ. මේ අතර දැන් චීන හමුදා හොංකොංහි ක්‍රියාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට අත පොවන්නට යන ලකුණු පහළ වී තිබේ.
හොංකොංහි ජනජීවිතය පවා අඩාල කර ඇති මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට මේ වනවිට සති 10කට අධික කාලයක් ගතවී තිබේ. විරෝධතාකරුවන් සහ එරට පොලීසිය අතර ගැටුම් ඉහළ ගොසිනි. හොංකොං ගුවන්තොටුපළ තුළට පැමිණීම වළක්වාලමින් විරෝධතාකරුවන්ට වාරණ නියෝගයක් පනවා තිබුණද ඔවුන් ඊට ඇතුළුවීම හේතුවෙන් ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල විය. ඒ අතර සිය විරෝධතා හේතුවෙන් ගුවන්තොටුපළේ කටයුතු අඩාලවීම සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් සමාව අයදින පෝස්ටර් රැගත් විරෝධතාකරුවෝ ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටත රැස්ව සිටියහ. කෙසේ නමුත් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග යළිත් ගැටුම් උත්සන්න වී තිබේ. විරෝධතා පාලනය කිරීමට යොදන හමුදා බලයට එරෙහිව විරෝධතාකරුවෝ ඉකුත් බදාදා රාත්‍රියේදී උපහාසාත්මක ආගමික උත්සවයක්ද පැවැත්වූහ. මේ අතර චීනය හොංකොං දේශසීමාව ආසන්නයේ යුද අභ්‍යාසයක් සිදුකර තිබේ. මෙය විරෝධතාකරුවන්ට දැල්වූ රතු එළියක් ලෙස සැලකිය හැකිය.

හොංකොං දේශසීමා ආසන්නයේ ෂෙන්ෂෙන් නගරයේ ක්‍රීඩාංගණයක චීන මහජන සන්නද්ධ පොලිස් බළකායේ 12,000කට ආසන්න සාමාජිකයන් පිරිසක් ත්‍රස්ත විරෝධී සටන් පුහුණු අභ්‍යාසවල නිරතව සිටින ආකාරය මාධ්‍ය වාර්තාකර තිබුණි. පොලිස් බළකායේ සාමාජිකයන් මෙම පුහුණුවීම් සිදුකරන ක්‍රීඩාංගනය අසල මිලිටරි වාහන සිය ගණනක් නතර කර තිබෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් චීන රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් නමැති පුවත්පත් ආයතනය විසින් මුදාහැර තිබේ. එම පුවත්පතේ කතුවරයා ට්විටර්හි සඳහන් කර තිබුණේ එය හොංකොං විරෝධතාකරුවන් සිදුකෙරුණු අනතුරු ඇඟවීමක් බවයි.
ලන්ඩන්හි චීන තානාපති ලියු ෂියෝමිං පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විරෝධතාකරුවන් තවදුරටත් ප්‍රචණ්ඩ වන්නේ නම් චීන රජය පැත්තකට වී නොසිටිනු ඇති බවයි. හොංකොංහි තත්ත්වය තවදුරටත් පිරිහෙන්නේ නම් විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් මෙන් කටයුතු කරන්නේ නම් විරෝධතා මැඩපැවැත්වීමට චීනය කටයුතු කළයුතු බවද ඔහු කියා තිබුණි.
හොංකොංහි රාජ්‍ය විරෝධී උද්ඝෝණ උත්සන්න වෙමින් පවතින අවස්ථාවක චීනය මෙම යුද අභ්‍යාසය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. ඒ අනුව මෙම යුද අභ්‍යාසය විරෝධතා ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කිරීම සඳහා චීනයේ සූදානමක්ද යන්න පිළිබඳව ජාත්‍යන්තරය තුළ දැන් සැක මතුව තිබේ. හොංකොංහි ක්‍රියාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ත්‍රස්තවාදයක් මට්ටමට ආසන්න වී ඇති බවට චීනය හඳුන්වා දී තිබූ නිසාය. දැන් පෙනී යන අන්දමට හොංකොංහි රට අභ්‍යන්තරයේ ඇවිල යන ගින්නට බලහත්කාරයෙන් පිදුරු දමන්නට චීනය සූදානම් වන ආකාරයකි. පසුගිය සතියේ හොංකොංහි රඳවා ඇති චීන මහජන හමුදාවද සටන් අභ්‍යාසයන්හි නියැලෙන තර්ජනාත්මක දර්ශන මාධ්‍ය වෙත පැමිණ තිබුණි. උද්ඝෝණ දරුණු ලෙස මැඩ පැවැත්වීමේ ක_ර ඉතිහාසයක් චීනය සතුය. ඔවුන් මේ සැරසෙන්නෙ ලෝකයට තවත් එවන් රුදුරු අඳුරු මතකයක් එක්කරන්නටද? විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් ගින්දරත් සමග සෙල්ලම් එපා යැයි චීන බලධාරීන් මේ සතියේ මුල කලින්ම ඔවුන්ට අනතුරු අඟවා තිබුණේ ඒ නිසාද?