2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ඉන්දු, චීන, ජපාන, බුරුම කාලගුණ අලකලංචිය !

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

ජපානය, චීනය, ඉන්දියාව සහ මියැන්මාරය මේ දිනවල සොබාදහමේ ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට ලක්ව පීඩා විදී. මිලියන ගණනකගේ ජිවිත අනතුරට පත්ව හමාරය. “ක්‍රෝසා” සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ මිලියනයකට අධික පිරිසක් අවතැන් වී සිටිති. ගුවන් ගමන් සහ දුම්රිය ගමන් සිය ගණනක් අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
සුළි කුණාටුවේ බලපෑමෙන් බටහිර ජපානයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක්ද බලපා ඇත. ආපදා තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ලක්ෂ 6 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර මෝසම් වර්ෂාවත් සමඟ ඉන්දියාවේ හටගත් අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුර හා නායයෑම්වලින් මියගිය ගණන දෙසීය හැත්තෑව ඉක්මවා තිබේ. මිලියනයකට අධික පිරිසක් අවතැන් වී සිටිති. සති දෙකක පමණ කාලයක් ඇදහැලුණු අධික වර්ෂාවෙන් ඉන්දියාවේ කේරළ, කර්ණාටක, ගුජරාට ඇතුළු ප්‍රාන්ත හයකට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දකුණුදිග කේරළ ප්‍රාන්තයටය. ගංවතුර හා නායයෑම්වලින් එම ප්‍රාන්තයේ සියයකට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයන් පනස් දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටිති.

මේ වසරේදී චීනයට බලපෑ නවවැනි මෙන්ම ප්‍රබලම සුළි කුණාටුව ලෙකීමා හේතුවෙන් පීඩාවට පත්වූ චීන වැසියන් ගණන මිලියන 10 ඉක්මවන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන් එරට ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය ඇතුළුව නැගෙනහිර වෙරළාසන්න කලාපයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල විය. සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස අටදහසකට අධික ප්‍රමාණයක් මුළුමණින් විනාශ වී ඇති බව ගණන් බලා තිබේ. එමෙන්ම තවත් නිවාස පනස් දෙදහසකට පමණ හානි සිදුව ඇති අතර අයහපත් කාලගුණයෙන් විනාශ වූ භෝග වගාවන් ප්‍රමාණය හෙක්ටයාර හත් ලක්ෂය ඉක්මවන බව සඳහන් වෙයි. කුණාටුව හේතුවෙන් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ මිය ගියහ.

මියන්මාරයේද පළාත් රැසකටම මේ වනවිට වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබේ. එරට ගිනිකොනදිග ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් හැටකට අධික පිරිසක් මියගොස් ඇති බව මේ වනවිට වාර්තා වී තිබේ. තවත් බොහෝ පිරිසක් සුන්බුන් තුළ සිරවී සිටිනු ඇති බවට බලධාරීන් සැක පළකරයි. මේ හේතුවෙන් පුද්ගලයන් අසූ දහසකට අධික පිරිසක් අවතැන් වී සිටිති. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ මොන් ප්‍රාන්තයටයි. මොන් ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් නිවාස 27ක් පමණ මුළුමණින් විනාශ වී තිබේ. නායයෑමට හසුවූ පුද්ගලයන් රැසකගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.