2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ඔසාමාගේ පුතාත් මරුට!

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 145

ඔසාමා බින් ලාඩ්න්ගේ පුත්‍රයා හැටියට හඳුනාගන සිටි හම්සා බින් ලාඩ්න් ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට ලද ආරංචිය ජාත්‍යන්තර මාධ්‍ය තුළ ඇති කළේ මහත් ආන්දෝලනයකි. හම්සා පිළිබඳ තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක් පිරිනමන බවට පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු රජය නිවේදනය කර තිබුණි. අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් පවසන පරිදි අල්-ඛයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩ්න්ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩ්න් ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එසේ ඔහුට මිලක් නියමිතව තිබියදීය.

කෙසේ වෙතත්, හම්සා බින් ලාඩ්න් ජීවිතක්ෂයට පත්වූ ස්ථානය හෝ දිනය පිළිබඳ තොරතුරු නිර්නාමිකව ප්‍රකාශයට පත්ව ඇති වාර්තාවලින් පැහැදිලි වී නොමැත. අදාළ බුද්ධි වාර්තා පිළිබඳව ප්‍රථමයෙන් අනාවරණය කර තිබුණේ, NBC සහ The New York Times මාධ්‍ය ආයතනයි. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මෙන්ම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද බදාදා මාධ්‍යවේදීන් මේ පිළිබඳව කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළහ.

අමෙරිකාවට සහ තවත් රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කරන ලෙස පවසමින් 30 හැවිරිදි වියේ පසු වූ බවට විශ්වාස කෙරෙන හම්සා බින් ලාඩ්න් වරින්වර ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පණිවුඩ නිකුත් කර තිබිණි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, පාකිස්තානයේ ඇබටාබාද්හි ඔහුගේ පියාගේ නිවසේ කළ වැටලීම් අතරතුර හමු වූ ලේඛන අනුව අල්-ඛයිඩා නායකත්වය හම්සා බින් ලාඩ්න්ට පිරිනැමීම සඳහා සූදානමක් තිබුණු බවය. ඉන්පසු ඔහු තමා ප්‍රධානියා බව ප්‍රකාශයට පත් කරගෙන තිබුණි.අමෙරිකානු විශේෂ බළකාය විසින් 2011 වසරේදී පාකිස්තානයේදී සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගන්නා ලෙසට හම්සා බින් ලාඩ්න් ජිහාඩ්වාදීන්ගෙන් ඉල්ලා තිබිණි. ඊට අමතරව, කැරැල්ලක් ඇති කරන ලෙසට ඔහු අරාබි අර්ධද්වීපයේ වැසියන්ට දැනුම් දී තිබිණි. ඉන්පසු පසුගිය මාර්තු මාසයේදී සෞදි අරාබිය ඔහුගේ පුරවැසිභාවය අහෝසි කළේය. ඇතැමුන් විශ්වාස කළේ, ඔහු ඉරානයේ නිවාස අඩස්සියේ පසු වන බවටය. එහෙත්, තවත් වාර්තාවල දැක්වුණේ ඔහු ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය හෝ සිරියාව වැනි රටක වාසය කරන බවය. 2001 වසරේ සැප්තැම්බර් 11 වැන දා අමෙරිකාවට එල්ල කළ ප්‍රහාරය පසුපස සිටියේ අල්-ඛයිඩා සංවිධානයයි. එහෙත්, ඉස්ලාමීය රාජ්‍යය (Islamic State) සංවිධානය පසුගිය දශකයක කාලය තුළ බලවත් වීමත් සමඟ අල්-ඛයිඩා සංවිධානයේ බලය ගිලිහිණි.