
සයිබීරියාව ගැන ලෝකයම දන්නේ මහ එපා කරපු පළාතක් හැටියටය. එය පෙර දවස වරදකරුවන් පිටුවහල් කළ දුගම, දුෂ්කර, ජනශූන්‍ය රුසියානු පළාතකි. මහා කතරක් වන සයිබීරියාව වෙත ඉකුත් සතියේ ලෝක අවධානය යොමු වූයේ ඒ පළාතට කඩා වැටුණු මහා වර්ෂාව හේතුවෙනි. රුසියාවේ දකුණු දිග සයිබීරියානු කලාපයට මේ වැස්ස නිසා හට ගත් මහා ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී ඇත.
අඟහරුවාදා දිනයේ සිට මෙම කලාපයට සුළිකුණාටුවකින් බලපෑම් එල්ල වී ඇති අතර ඒ සමඟ අධික වර්ෂාවක් ඇදහැලෙමින් තිබෙයි. මේ අතර කඳුකර ප්‍රදේශවලින් අයිස් දිය වී ගලා එන ජලය ද ගංඟාවල ජල මට්ටම ඉහළ යෑමට හේතු වී ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් දකුණුදිග සයිබීරියාවේ නිවාස රැසක් ජල ගැලීමට හසු වී ඇත. මේ හේතුවෙන් විපතට පත්ව සිටි දහසකට අධික පිරිසක් මුදාගැනීමට සහන සේවකයන් සමත්ව තිබුණි. ජල ගැලීම් හේතුවෙන් ජීවිත හානි කිහිපයක් වාර්තා වී ඇති අතර අතුරුදන්ව සිටින පුද්ගලයන් පිරිසක් සොයා සෝදිසි මෙහෙයුමක් ද මේ වනවිට ක්‍රියාත්මකය. මේ වනවිට 12දෙනකු මියගිය බවත් 9ක් අතුරුදන්ව ඇති අතර 153ක් රෝහල් ගතකර ඇත. රුසියාවේ ඉර්කුට්ස්ක් කලාපයට ගංවතුරින් බලපෑම් එල්ල වෙමින් ඇත්තේ ඉකුත් ජුනි මාසයේ සිටය. ඉන් නගර 55කට සිදු වූ පුද්ගල හා දේපළ හානිය මෙන්ම ආර්ථිකයට සිදුව ඇති බලපෑම ද අතිවිශාල බව වාර්තා වේ.