
තම ප්‍රතිවාදියා වූ ජෙරමි හන්ට් පරාජයට පත් කරමින් මනාප 92,153 ක් ලබාගනිමින් බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අගමැති ධූරයට පත් විය. හන්ට් ලබාගත් මනාප සංඛ්‍යාව 46,656 ක් පමණි. එංගලන්තයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස මාධ්‍යවලින් හඳුන්වා දී ඇති බොරිස් පත්වීම ගත් සැණින් අලුත් ඇමති මණ්ඩලය අමතා ඉදිරියේදී තදින් කටයුතු කරන බව කීවේය. ඒ බ්‍රෙක්සිට් හෙවත් යුරෝපයෙන් දික්කසාද වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහාය. ඔහු පත්වූ මුල් දිනයේදීම තෙරේසා මේ ආණ්ඩුවේ ඇමතිවරු 30න් 17ක් ම ඉවත්වූහ. එයින් ඇතැමුන් අස්කර දැමූ අතර තමත් අය ඉල්ලා අස් වී තිබුණි.
බොරිස් ජොන්සන් ඇමැති මඩුල්ල අමතා කළ කතාව “හෙඩ්මාස්ටර්”හෙවත් විදුහල්පති මට්ටමේ ඇමතුමක් ලෙස මාධ්‍ය විස්තර කර තිබුණි. තමන් යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා වන ගනුදෙනු සියල්ල අවසන් දිනය වන ඔක්තෝබර් 31 වන විට හොඳින් හෝ නරකින් අවසන් කරන බව ඔහු කියා තිබුණි. තදබල තීන්දුවක් ගනිමින් ඔහු තමන්ගේ රජය යුරෝපා සංගමය සඳහා කොමසාරිස්වරයකු පත් නොකරන බව ද කීවේය. එසේම බ්‍රිතාන්‍යය සඳහා ඕස්ට්‍රෙලියානු පන්නයේ සංක්‍රමණ නීති හඳුන්වා දෙන බවද ඔහු කීය. එංගලන්ත ඇමැතිවරු ශ්රීෂ්ම සෘතුව සඳහා විවේක ගෙන නැවත එන්නට නියමිත සැප්තැම්බර් 3 දාය. නමුත් අගමැති ජොන්සන් ශ්රීෂ්ම නිවාඩුවත් නොගෙන බ්‍රෙක්සිට් පලහිලව්වට විසඳුම් සෙවීමට නියමිතය. උග්‍ර ට්‍රම්ප් හිතවාදියකු ලෙස ජනප්‍රිය බොරිස් ජොන්සන් ඒ අයුරින් මුල් දිනයේ සිටම ට්‍රම්ප් මාදිලියේ කඩිමුඩි ප්‍රතිසංස්කරණ සිදුකරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. බොරිස් ජොන්සන් ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම තෙරේසා මේ ගේ රජයේ පළමු විදෙස් අමාත්‍යවරයාද වෙයි.
මේ අතර ධුරයෙන් ඉවත්වගිය අගමැතිනි තෙරේසා මේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව පක්ෂ නායකයාට සහ අගමැතිට සුබ පැතීය. “අපි සියලු දෙනා දැන් එකතුව මුළු බ්‍රිතාන්‍යයට යහපත් වන ආකාරයට බ්‍රෙක්සිට් සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. එමගින් ජෙරමි කෝබින් ආණ්ඩුවෙන් ඈත් කර තැබීමට හැකි වෙයි” යැයි ඇය කියා ඇත. විපක්ෂනායක ජෙරමි කෝබින් පවසන්නේ, බොරිස් ජොන්සන් සම්මුතියකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහයෝගය දක්වන බැවින් එක්සත් රාජධානියේ රැකියා කප්පාදුව, බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම, සහ ජාතික සෞඛ්‍ය සේවය (NHS) අමෙරිකානු සමාගම්වලට විකුණා දැමීමද සිදු විය හැකි බවය. ඔහු කියන්නෙ රටේ අගමැතිවරයා විය යුත්තේ කවුද යන්න මහ ඡන්දයකින් අපේ රටේ ජනතාව තීරණය කළ යුතු බවය.

බොරිස් ජොන්සන් එල්ටන් විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ. ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් මතු වී තිබූ දේශපාලන අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් සිය පදවියෙන් ඉල්ලා අස් වීය. විදේශ ලේකම්වරයා ඉල්ලා අස්වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (බ්‍රෙක්සිට්) සම්බන්ධ අමාත්‍ය ඩේවිඩ් ඩේවිස් ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුවය.
අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සම්බන්ධ සිය සැලසුම බොහෝ මන්ත්‍රීවරුන්ගේ කෝපයට හේතු විය. ඒ අතර විදේශ ලේකම්වරයා ලෙස සිටි බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය. බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමත් සමග ඉතා අපහසු සහ දුෂ්කර තත්ත්වයකට අගමැතිනි තෙරේසා මේ පත්වූවාය. ප්‍රතිඵලය වූයේ අගමැතිනිය ඉවත් වීමය ඊළඟට හටගත්තේ තියුණූ අගමැති පොරයකි. දැන් අවසානයේ ජොන්සන්ට මහ පුටුව හිමිව තිබේ. විචාරකයන් පවසන්නේ ජොන්සන්හටද මේ අර්බුදය සඳහා විසඳුම් නැති බවය. 2019 මාර්තු 29 වෙනි දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය. එහෙත් ඉන් අනතුරැව දෙපාර්ශ්වය අතර වෙළෙඳ සම්බන්ධතා පැවැත්වෙන්නේ කෙලෙසද යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවය තවමත් එකඟත්වයකට පැමිණ නැත.