2019 ජුලි 20 වන සෙනසුරාදා

UFO ගැන ප්‍රකට Area 51 වටලන්න ලක්ෂ 6ක් සීරුවෙන්!

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 438

ලෝකය පුරා විවිධාකාර ආන්දෝලනයන්ට හේතුකාරක වූ මුහුණු පොත, අමෙරිකාව තුළ අලුතෙන්ම ඇති කළ කැළඹිල්ල අමෙරිකාවේ හංගාගෙන ඉන්නා බවට සැකකරන පිටසක්වලයන් ගැන සුප්‍රකට අබිරහස් Area 51 හෙවත් - 51 ප්‍රදේශය වැටලීමයි. ඒ, පිටසක්වලයන් හෙවත් Aliens දඩයමටයි.

මුහුණු පොතේ කණ්ඩායමක් පළකළ  ආරාධනයකට අනුව රට පුරා ලක්ෂ 06කට වැඩි පිරිසක් අමෙරිකාවේ මහා අබිරහසක් හැටියට සැලකෙන තහනම් ප්‍රදේශයක් වන නෙවාඩාවේ 51 ප්‍රදේශයට නැතිනම් Area 51ට කඩා වැදෙන්නට දැනටමත් සූදානම්ය. එරට ගුවන් හමුදාව තමන්ගේ ආරක්ෂාව යටතේ ඇති මේ ප්‍රදේශය රැකගන්නට අණ නොතකා මේ ප්‍රදේශයට කඩා වදින ඕනෑම තැනැත්තෙකුට මැරෙන්නටම වෙඩි තබන්නට දැනටමත් අවි අමෝරාගෙනය. මුළු අමෙරිකාවම මේ පිටසක්වලයන් දඩයම ගැන දැන් පිස්සු වැටිලාය. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට කිව්වාක් මෙන් මේ ආන්දෝලනයේ උපරිම කලකෝලාහලය ඇරඹෙන්නට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 20දාටය.

අමෙරිකානු භූමියේ ඇති නෙවාඩාවේ, 51 ප්‍රදේශය නැතිනම් - Area 51 යනු කාලාන්තරයක සිට ලෝකයේම කුතුහලය අවුළුවා ලූ අබිරහස් පළාතකි. කලකට ඉහත මහා තිරිඟු වගාබිමක් ලෙස පැවැති මේ බිම පසුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සෙසු ලෝකයාට තහනම් බිමක් බවට පත්විය. අවසරලත් තැනැත්තන්ට පමණක් වෙන් වූ වරක් ගිය අයෙක් ආපසු පණ පිටින් හෝ හොඳ සිහියෙන් හෝ පිටතට නොඑන අබිරහස් පළාතක් ලෙස මෙය ප්‍රකට විය. පිටසක්වල ජීවින් මෙහි ජීවත්වන බවත් ඔවුන් හා එකතුව අමෙරිකානු විද්වතුන් අබිරහස් පර් යේෂණවල යෙදෙන බවටත් සැකයක් ලෝකය පුරාම පවතී. වැඩියෙන්ම මේ සැකය ඇත්තේ අමෙරිකානුවන් තුළමය. නෙවාඩාවේ 51 ප්‍රදේශය හෙවත් - Area 51 තුළ සැබෑ ලෙසම සිද්ධ වෙන්නේ අමෙරිකානු රහස්‍ය යුදයානා සැලසුම් සහ පරීක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ අරක්ෂක අංශ මෑතකදී රටට ලෝකයට කීවේය. ඒ 2013 දීය. 2005 දී බලාත්මක කළ තොරතුරු දැනගැනීමේ පනතට අනුවය. නමුත් ලෝකය එය පිළිගත්තේ නැත. බොහෝ අමෙරිකානුවන්ද එසේය. නෙවාඩාවේ “51 ප්‍රදේශයට - (Area 51) සුළිසුළඟක් සේ කඩාවදිමු! පිටසක්වලයන් බලමු!” යනුවෙන් මුහුණු පොතේ පළවූ විට ඉවක් බවක් නැතිව අපිත් එනවා යැයි අමෙරිකාවේ හයලක්ෂයකට වඩා කැමැත්ත දුන්නේ ඒ නිසාය.

අධි ආරක්ෂීත 51 ප්‍රදේශයට කඩාවදින මේ විහිළුකාර වැඩපිළිවෙළ ගැන පළවූ ඇරයුමද අමුතුය. “ඒ අයගේ බුලට්වලට වඩා වේගයෙන් අපිට යන්න පුළුවන්, යමු ගිහින් පිටසක්වලයන් බලමු!” යනුවෙන් එහි සඳහන්ය. වෙඩි නොවදින්නට තරම් වේගයෙන් දුවන්නේ කෙසේද යන වගත් එහි කියා ඇත. අපි “නරුටෝ” Naruto වගේ දිව්වොත් බුලට් පරාදයි යනුවෙනි. මේ කියන Naruto ජපානයේ කාටුන් කතාවක චරිතයකි. Naruto දුවන්නේ හිස ඉදිරියට දමා අත් විදහා ඒවා පිටුපසට යොමු කරගෙනය.

කතාවට අනුව ඒ දිවිල්ල බුලට් පරදන දිවිල්ලකි. මුහුණු පොතේ උදවිය 51 ප්‍රදේශයට යමු යැයි කියන්නේ එලෙසටය. එය තරමක් විහිළු කතාවකි. මුහුණු පොතේ මේ ආරාධනය පළ කිරීමේ අරමුණ ඇත්තටම 51 ප්‍රදේශයට අමෙරිකානු රජය ලබා දී ඇති අධි රහස්‍ය බව සහ එයට සපයා ඇති දැඩි ආරක්ෂාව උපහාසයට ලක්කිරීම බව පැතිර ගිය අදහසකි. ඒ උපහාසය කෙසේ වෙතත් 51 ප්‍රදේශයට ආරක්ෂාව සපයන අමෙරිකා ගුවන් හමුදාවේ ප්‍රකාශීකා ලෝරා මැක්ඇන්ඩෘස් විහිළු කරන්නේ නැත. ඇය කියන්නේ “51 ප්‍රදේශය ඇමෙරිකා ගුවන් හමුදාවේ පුහුණු කටයුතු සඳහා වෙන්වූ විවෘත බිම්කඩකි. එය වෙත පිටස්තරයන් පැමිණීම අපි හැමවිටම අධෛර්යය කරන්නෙමු. අමෙරිකා රාජ්‍ය වත්කම් රැකගැනීමට ගුවන් හමුදාවේ අපි සීරුවෙන් සිටිමු.” කියාය. තේරෙන භාෂාවෙන් කීවොත් අවසර නැතිව කඩා වදින්නට එන ඕනෑම Naruto කෙනෙකුට තමන් වෙඩි තියන බවය.

ඒරියා 51 නැමැති මෙම හමුදා කඳවුර පිහිටා ඇත්තේ නෙවාඩාහි ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ වයඹ දෙසිනි. එඩ්වඩ් ගුවන් හමුදා කඳවුරෙහි (Edwards Air Force Base) කොටසක් වන මෙය ඇමරිකානු රජය හඳුන්වන්නේ නෙවාඩා පරීක්ෂණ සහ පුහුණු ප්‍රදේශය ලෙසය. ඇමරිකාව පුරා පිහිටා ඇති බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා 51හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතී. ෆේස්බුක් පිටුවේ තිබූ අදහස් අනුව සංවිධානගත වී මෙම ස්ථානයට කඩා වැදීම ඉතා අපහසු කාරණයක් වනු ඇත. මෙම ස්ථානයට සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි අතර, නිරන්තරයෙන් දැඩි මුරකාවල් යොදා තිබෙන අයුරු දැකගත හැකිය. එමෙන්ම, ඒරියා 51 වෙත ගුවනින් ළඟාවීමද කළ නොහැකිය. පිටසක්වල යානා නිතර නිතර මේ ප්‍රදේශය ආසන්නයේ දක්නට ලැබුණු බවට වාර්තා එමටය. මේවා ඇත්තටම නිශ්චිතව හඳුනා නොගත් පියාසර වස්තූන් හෙවත් UFO නම් වේ. පිටසක්වලයන් සම්බන්ධ කර කියැවෙන කතා මෑතක සිට නැවත බහුලව අසන්නට ලැබේ. කලින් කළට මෙබඳු UFO  කතා රුලි ඇතිව - නැතිව යයි. ඒ හැමවිටම ආන්දෝලනයේ මුල්තැන ගත් ස්ථානය වන්නේ 51 ප්‍රදේශයයි. Naruto වගේ දිවිල්ලෙන් ලක්ෂ ගණනක් වටකරන්නට යන්නේ මේ ප්‍රදේශයයි.