
සිය 18 වැනි වියේදී රාජකීයත්වයට පත් වික්ටෝරියා මහ රැජන, වර්තමානයේ සිටින දෙවැනි එළිසබත් මහ රැජනගේ මිත්තණියකි. 1837 වර්ෂයේ පටන් මියයන තුරු එනම් 1901 වසර දක්වා රාජකීයත්වය දැරූ ඇය එකල සැලකුණේ ලොව වැඩිම කාලයක් රජකම් කළ රාජිනිය ලෙසයි. කෙසේ වෙතත්, 2015 වසරේදී දෙවැනි එළිසබත් රැජන ඇය අභිබවා යමින් ලොව වැඩිම කාලයක් රාජ්‍ය පාලනයේ නිරත පාලිකාව ලෙසින් ඉතිහාසයට එක්ව තිබේ. දැන් බොහෝවිට චෝදනා මුඛයෙන් විස්තර වන වික්ටෝරියානු සම්ප්‍රදාය යන්න ඇගේ යුගයේ පැවැති ඇතැම් අධි සුචරිතවාදී ප්‍රතිපත්ති නිසා කියැවෙන්නකි.
එකී වික්ටෝරියා මහ රැජනගේ 200 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය වූ ප්‍රදර්ශනයක් පසුගියදා බ්‍රිතාන්‍යයේදී ආරම්භ කෙරුණි. මෙම ප්‍රදර්ශනය නම් කර ඇත්තේ ක්වීන් වික්ටෝරියාස් පැලස් නමිනි. ඇගේ යුගයේ මාලිගයේ හැටි සොබාව ලොවට මතක් කරදීම මෙහි අරමුණයි. ප්‍රදර්ශනය පසුගියදා බකිංහැම් මාලිගාවේදී ඇරැඹුණේ දෙවැනි එළිසබත් මහ රැජනගේ ප්‍රධානත්වයෙනි.
සංවිධායකයන් කියන්නේ වරෙක රළු මාලිගාවක් ලෙසින් පැවැති බකිංහැම් මාලිගය වික්ටෝරියා රැජනගේ පාලනය යටතේ වඩාත් ආදරණීය ස්ථානයක් බවට පත්වූ ආකාරය මෙම ප්‍රදර්ශනයේදී නිරෑපණය වන බවය. ඇගේ කුඩා කල පාට පැන්සල් පෙට්ටියේ සිට වික්ටෝරියා රැජනගේ ඔටුන්නත්, රාජකීය ඇඳුම් ආයිත්තම් ආදියත් ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. ඊට ඇගේ දරුවන්ගේ ළාබාල කාලේ භාවිත කළ භාණ්ඩ රැසක්ද එක්කර තිබීම විශේෂත්වයකි. ඒ හැර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිසට ප්‍රක්ෂේපිත ආලෝක රටා හා වර්ණවත් රටා යොදාගත් සංදර්ශනද නැරඹීමේ අවස්ථාවද හිමිවෙයි.