
මේ වනවිටත් ඉබෝලා වෛරසය වැළඳීමෙන් කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 1600ක් පමණ මියගොස් ඇති බව වාර්තා වෙයි. එය එරටදී වසංගත තත්ත්වයට පත්ව තිබේ. ඉබෝලා වෛරසය වෙනත් රටවලට පැතිරයාම වැළැක්වීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොංගෝ රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඉබෝලා වෛරස ආසාදනය නිසැක මරණය ළඟාකරදිය හැකි උග්‍ර රෝගයකි. ඉබෝලා වෛරස් රෝගය මුල්වරට හඳුනාගනු ලැබුවේ 1976 වසරේදීය. ඒ අප්‍රිකානු රාජ්‍යයන් වන සූඩානයේදී සහ කොංගෝවේදීය. විශේෂයෙන් කොංගෝවේ රෝගය පැතිරීයාම ඉබෝලා නදිය ආශ්‍රිතව සිදුවූ නිසා මෙම වෛරසයට ඉබෝලා නම තැබිණි.
මෙතෙක් ලොව ඇතිවූ දරුණුම සහ සංකීර්ණම ඉබෝලා වසංගත තත්ත්වය, හටගත්තේ 2014-16 කාලයේදීය. 2014 වසරේ මාර්තු මාසයේදී එවර එය මුල්වරට හඳුනාගන්නා ලදී. එවර වසංගතය ගැන මුල්වරට අසන්නට ලැබුණේ සියෙරා ලියෝන් රාජ්‍යයෙනි. ගිනියා, සියෙරා ලියෝන්, ලයිබීරියා යන රටවලට ගොඩබිම් මාර්ගයෙන්ද, නයිජීරියා සහ සෙනගල් රාජ්‍ය වෙත ගුවන් මගීන්ද එවර රෝගය පැමිණ ඇත. ප්‍රතිකාර කරන්නට ආ සෞඛ්‍ය අංශ සේවකයන්ද මෙයට ගොදුරු විය. 2014 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ඉබෝලා වෛරසය පැතිරයාම හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල පුද්ගලයින් 11,000ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.
ඉබෝලා වසංගතය ස්වාභාවිකවම පළතුරු වවුලන් ආශ්‍රිතව පවතී. රෝගය මිනිසුන් වෙත සංක්‍රමණය වීම බොහෝවිට රෝගය ආසාදනය වූ චිම්පන්සියන්, ගෝරිල්ලන්, වඳුරන් සහ පළතුරු වවුලන්ගේ රුධිරය හෝ වෙනත් තරලයන් මාර්ගයෙන් සිදුවේ.
ඉබෝලා මිනිසුන් අතර පැතිර යාම, බොහෝවිට තුවාල වූ සම, රුධිරය බඳු රෝගියකුගේ ඕනෑම තරලයක් හරහා සිදුවිය හැකි අතර, රෝගීන් පාවිච්චි කළ තුවා බඳු දේ හරහාද වෛරසය පැතිර යාම සිදුවේ. විශේෂයෙන් ඉබෝලා වෛරස රෝගීන්ට සාත්තු කරන පිරිස් වෙතද රෝගය පැතිර යාම නිතර දැකිය හැකිවේ. රෝගයෙන් සුවය ලැබූ පුරුෂයන්ගේ ශුක්‍ර තරලය හරහා රෝගය සුව වී සති 7ක කාලයක් යනතුරු රෝගය පැතිර යාම සිදුවිය හැක.
රෝග කාරක වෛරසය ශරීරගතවී දින 2-21 අතර කාලයක් තුළදී රෝග ලක්ෂණ පහළ වේ. මිනිසුන් අතර, රෝග ලක්ෂණ පහළ වනතෙක් පැතිරීමක් සිදු නොවේ. දැඩි උණ ගතිය සමඟ විඩාව, මාංශ පේශීන්ගේ වේදනාව, හිසේ කැක්කුම සහ උගුරේ වේදනාව මූලික රෝග ලක්ෂණ වේ. ඉන්පසුව, වමනය සහ පාචනය, කුෂ්ඨ, වකුගඩු සහ අක්මා ක්‍රියාකාරීත්වයේ ගැටලු ඇතැම්විට ශරීරයේ අභ්‍යන්තරික සහ බාහිර රුධිර වහනය සිදුවේ.
රෝගියාගේ සිරුර විජලන තත්ත්වයෙන් මුදවා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කිරීම, පෙන්වන වෙනත් රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම රෝගයෙන් දිවි ගලවා ගැනීමේ අවස්ථාව වැඩිකරයි. කෙසේ වෙතත් මේ වනතෙක් පැහැදිලිව ඉබෝලා රෝගය සඳහා ප්‍රතිකාරයක් හඳුනාගෙන නැත. එහෙයින් එය කලින් පැතිරිම වළක්වා ගත යුතු මාරකයකි.