
ඉරාන ජනාධිපති හසන් රුහානි පසුගිය සතියේ මුල එංගලන්තයට අනතුරු ඇඟවීමක් සිදු කළේය. ඒ ඉකුත් දා ඉරානයේ බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ සුපිරි බොරතෙල් ප්‍රවාහන නෞකාවක් වන ග්‍රේස් වන්, ග්‍රහණයට ගැනීම වෙනුවෙන් එංගලන්තයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි පවසමිනි. එය සනාථ කිරිමක් ලෙසදෝ ලෝකයේ තෙල් ප්‍රවාහන සේවා නෞකාවන් සියයට 20ක්ම ගමන් ගන්නා හොමුස් සමුද්‍ර සන්ධියේදී එංගලන්තයට අයත් ප්‍රවාහන නෞකාවකට බාධා කිරිමට ඉරාන බෝට්ටු කිහිපයක් කටයුතු කළේය. අන්තිමේ සිය නැව බේරාගෙන මග පාදා ගන්නට එංගලන්තය බහරේන්වල ස්ථානගත කර තිබූ සිය එච්.එම්.එස් මොන්ට්රෝස් යුද නැව යෙදවීය. ග්‍රේස් වන් නැමැති ඉරාන තෙල් නැව බ්‍රිතාන්‍යයේ රාජකීය මැරීන් හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවේ යුරෝපා සංගමය සම්බාධක නොතකා අදාළ නෞකාව සිරියාවට තෙල් රැගෙන යමින් සිටින බවට චෝදනා කරමිනි. ඒ අනුව ග්‍රේස් වන් බොරතෙල් ප්‍රවාහන නෞකාවට එංගලන්ත නාවික හමුදාව සහ ජිබ්රෝල්ටා වරාය ඒජන්සි බලධාරීහු කඩා වැදුණහ. එංගලන්තයේ මෙම ක්‍රියාව සාහසික බව පැවසූ හසන් රුහානි පැවසුවේ, ජාත්‍යන්තර ප්‍රජාව සිය සියලු ප්රයත්න නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීමට යෙදවිය යුතු බවයි. ඉරානය මෙය මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවක් ලෙස හැඳින්වූ අතර එරට එංගලන්ත තානාපතිවරයා තුන්වරක් කැඳවා මේ පිළිබඳ සිය විරෝධය ද පලකළේය. මෙම අනාරක්ෂිතභාවයට මුල්පිරුවේ එංගලන්තය බැවින් අනාගතයේදී එහි ප්‍රතිඵල ඔවුන්ට අවබෝධ වනු ඇතැයි ඉරාන ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබුණි. ඒ අනුව ලන්ඩනය සහ ටෙහෙරානය අතර ආරවුල මධ්‍යධරණී ජලතලය මත බරපතළ තත්ත්වයකට පත්විය.
එංගලන්තයේ ක්‍රියාව අමෙරිකානු අතපෙවීමක් මත සිදුවූවක් බවට ඉරානය චෝදනා කර තිබුණි. මේ මධ්‍යධරණී අර්බුදය ගැන මත පලකළ යුරේසියා කණ්ඩායම පෙන්වා දෙන්නේ සිය තෙල් අර්ථිකයට සිදුවන යුරෝපීය බලපෑම හමුවේ ඉරානය නිහඬව නොසිටින බව මෙයින් තහවුරු වන බවය. ඉරාන මායිම කරගත් හොමූස් සමුද්‍ර සංධිය එවන් විටෙක ලෝක තෙල් ආර්ථිකයට දැඩි බලපැමක් කළහැකි මර්මස්ථානයක් ලෙස යොදා ගන්නට ඉරානය කටයුතු කරනු ඇතැයි එම සංවිධානය අනතුරැ අඟවයි.
එංගලන්තය හා යුරෝපය සමග ඉරානය ගැටෙද්දි මේ වන විට එංගලන්තය හා අමෙරිකාව අතර නොහොඳ නෝක්කාඩු ඉහළ යාමක්ද සිදුව තිබේ.