2019 ජුනි 29 වන සෙනසුරාදා

සහරාන් යුරෝපය ගිනි තියයි

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 342

අපායේ මාරාන්තික ගිනි රස්නය මේ දිනවල යුරෝපයේ නගර පුරා පැතිර ගොසිනි. සෙන්ටිග්‍රේඩ් අංශක 45ක් වන අධික තාපයෙන් ස්පාඤ්ඤයේ මජෝර්කා සිට එංගලන්තයේ මැන්චෙස්ටර් දක්වා දසදහස් ගණනක් මාරක තර්ජනයකට මුහුණ පා සිටිති. ලෝක දේශගුණික විපර්යාසයේම අතුරුපලයක් ලෙස ප්‍රතිඵලය වූ මේ යෝධ උණුසුම් තාප වායු බුබුල නම් කර ඇත්තේ “සහරාන්” හැටියටය.

ප්‍රංශය මේ වනවිටත් තැති ගැනී සිටින්නේ 2003 වසරේ එරටට බලපෑ මෙබඳුම තාප වායු ධාරාවක බලපෑමේ අත්දැකීම සිහිපත් වීමෙනි. එවර 15000 කට වැඩි පිරිසක් මිය ගියහ. මේ වනවිටත් ගිනි මද්දහනේ තද සීත මුහුදු දියට බැස නාන්නට ගිය තිදෙනෙක් හෘදයාබාධවලට ලක්ව මිය ගොසිනි. ස්පාඤ්ඤයේ කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේ “අපාය කඩාපාත්වෙයි!” යනුවෙනි. 2003දී එරට වාර්තා වූ උපරිම උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 41.5කි. මෙවර එම වාර්තාව බිඳ වැටෙන ලකුණු දැනටමත් පහළ වී හමාරය. දකුණු ප්‍රංශයේ නීම්ස් සහ කාපෙන්ට්‍රාස් නගර ආශ්‍රිත උණුසුම සිකුරාදා වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක 45 පන්නා තිබුණි.

“සහරාන්” උණුසුම් වායු බුබුල මේ වනවිට ඕස්ට්‍රියාව, බෙල්ජියම, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ජර්මනිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය සහ ස්විට්සර්ලන්තයද ගිනි රත්කර හමාරය. පැරිස් සහ රෝම නගර නරඹන්නට ආ සංචාරකයෝ මහමග අසල දියමල් වටා පොදිකමින් දිය නාති. අයිස්ක්‍රිම් ගිල දමති. සමහරැ අධික උණුසුම නිසා ඉන්නේ ඇඳුම් රහිතවය. සිසිලියේ එලොරෝ නගරයේ රිය නැවතුමක වූ කාර් 41ක් රස්නය නිසා පැතිර ගිය ගින්නෙන් පිළිස්සී අළුව ගියේය.

වතිකානුවද අධික උණුසුමෙන් පීඩිතය. පාප්තුමන් දහදිය පිසින සේයාරුවක් මාධ්‍යවල මුල්තැනක් දී පළ කර තිබුණේ කාලාන්තරයකට පසුව ආ මෙම අධික උණුසුම් වායු ධාරාවේ තරම පෙන්වා දෙන්නටය.

ජර්මනිය මාරාන්තික “සහරාන්” ගැන ජනතාවට අනතුරු ඇඟවූයේ බදාදා ගිනිකොන දිග ජර්මනියේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 43 ලෙස සටහන්ව තිබියදීය. සඳුදා දිනයේ එංගලන්තය තුළ දැඩි උණුසුමෙන් වැළකීමට උපදෙස් ජනතාව වෙත නිකුත්කර තිබුණේ යුරෝපය පුරා පැතිර යන උණුසුම් වායු ප්‍රවාහය මගින් “සහරාන්” තාප බුබුල Saharan ‘heat bubble’ නිර්මාණය වන බව වාර්තාවීමත් සමඟය.