2019 ජුනි 29 වන සෙනසුරාදා

අන්තවාදී ඝාතනයක් ඉන්දියාව කළඹයි!

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

ඉන්දියාවේ අහමෙදාබාද් නගරය පුරා මහජන විරෝධයක් ඇරැඹී තිබුණි. 24 හැවිරිදි මුස්ලිම් තරුණයෙකුට පහරදී මරාදැමීම හේතුවෙනි. ජාර්කන්ද් ප්‍රාන්තයේ ජීවත් වූ 24 හැවිරිදි තාබ්රේෂ් අන්සාරි නමැති තරුණයා වටකර ගත් දක්ෂිණාංෂීක හින්දු අන්තවාදී පිරිසක් ඔහු කණුවක බැඳ හින්දු දේව නමස්කාරය වන “ජායි ශ්‍රී රාම්” කියන්නට යැයි බලකරමින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල හරහා ප්‍රචාරය වී ඇත. මේ පිළිබඳ අදහස් දක්වා ඇති අගමැති මෝදි තමන් දැඩි කම්පාවට පත්ව ඇති බවත් වරදකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙසත් නියෝග කර ඇත. සොරකමක් ගැන චෝදනා කර මොහුට පහර දී ඇත. පසුව පොලීසිය පැමිණ ඔහු රෝහල කරා ගෙන යනු වෙනුවට කූඩුකර තිබේ. එහිදී පවුලේ කිසිවෙකුටත් ඔහු ගැන දැනුම් දී නැත. දින හතරකට පසු සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මියගොස් තිබේ. විරෝධතා මතුවීමෙන් පසුව ගම්වැසියන් 11ක් මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අමානුෂික ක්‍රියාවට විරෝධය පාමින් බටහිර බෙංගාලය, දිල්ලිය, ගුජරාටය ඇතුළු නගර  50ක ජනතාව විදී බැස තිබුණි. ඉන්පසු සිද්ධිය ගැන පරීක්ෂාවට කොමිසමක් පත් කර ඇත. මේ සිදුවීම ආගමික අන්තවාදී ක්‍රියාවක් ලෙස හුවා දක්වමින් එයට දේශපාලනික මුහුණුවරක් දීමට අගමැති මෝදි විරෝධී කොංග්‍රසය ප්‍රමුඛ ක්‍රියාකාරීහු පියවර ගෙන තිබේ. දැඩි හින්දු ජාතිකවාදී මුහුණුවරක් ගත් අගමැති මෝදි ප්‍රමුඛ බිජේපීය, බලයට පත්වීමත් සමග මෙබඳු ප්‍රහාර ගණනාවක්ම වාර්තා වී තිබේ. ගිය වසරේ ඉන්දීය උපරිමාධිකරණය මෙබඳු නඩු නැතිව දඬුවම් දෙන හිතුවක්කාර ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස රජයට නියෝග කර තිබුණි.