2019 ජුනි 01 වන සෙනසුරාදා

බ්‍රසීල හිරගෙදර අබිරහස් මරණ

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 177

ලෝකයේ වැඩිම සිරකරු ජනගහනයක් ඇති රටවල් අතරින් 2 වැනි තැන හිමිවන්නේ බ්‍රසීලයටය. 2019 අප්‍රේල් මාසය වනවිට බ්‍රසීලයේ සිරකරුවන් ගණන 712,305ක් බවට ගණන් බලා තිබිණි. මේ සිරකරු රාජධානියට අයත් සිර ගෙයක් තුළ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් වෙන් වෙන්ව ඇති සිරමැදිරි තුළ සිටි රැඳවියන් 42 මියගොස් තිබුණි.

මෙම සිදුවීම හට ගැනීමට දින කිහිපයකට පෙරද රැඳවියන් 15 දෙනෙකු ඝාතනය කර තිබූ බව වාර්තා වී තිබිණි. බ්‍රසීලයේ ඇමසන් පළාතෙහි මනාඔස් හි සිර මැදිරියක සිදුව ඇති මෙම අලුත්ම ඝාතන රැල්ල සිදුකර තිබෙන්නේ හුස්ම හිර කිරීම මගිනි. මුල්ම වරට මෙම ඝාතන රැල්ල ගැන අසන්නට ලැබුණේ පසුගිය ඉරිදාය. එහිදී පළමු 15 දෙනා කිසිවෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් මරාදමා තිබෙන්නේ උල් කරන ලද දත් බුරුසුවලින් ඇනීම සහ ගෙල සිර කිරීම මගිනි. මීට වසර 2කට පෙරද මෙම බන්ධනාගාරයෙන්ම මේ ආකාරයේ ගැටුම් සහ අබිරහස් මරණ වාර්තා විය. එහිදී රැඳවියෝ 65 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.