
ලන්ඩනයත් නිව්යෝර්කයත් ගිනිතබා ලේ ගංගාවක් කරන්නට අයි.එස්. ත්රස්තවාදීහු සැරසෙති. ලංකාවේ පාස්කු ඉරිදාව මහා ශෝකාන්තයක් කරන්නට මගපෑදූ අයි.එස්.කණ්ඩායමේ අලුත්ම ජාත්‍යන්තර ගොදුරු කලාප ගැන ඉඟි පසුගිය සතිමැද එළියට ආවේය. ඔන්ලයින් පළ වූ පෝස්ටරයකට අනුවය. ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර සහ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය ඔවුන්ගේ ඉදිරි ඉලක්කය වනු ඇත.
ලන්ඩනයේ සුප්‍රකට බිග්-බෙන් ඔර්ලෝසු කුලුණ ගිනිගෙන දැවෙන අයුරුත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එය ඉදිරිපස ඉන්නා දර්ශනයත් රැගත් මින් එක් පෝස්ටරයක “ලංඩනයට ළඟදීම ප්‍රහාරයක්!, ‘London attacks coming soon” යන අනතුරු ඇඟවීම දක්නට ලැබේ. ආගමික මාසය ගෙවීගිය පසු අහුවෙන අහුවෙන තැන මඟරුක සිට පහරදී බහුදේවවාදීන් මරාදමනු! -අත්-තව්බා අංක5; යනුවෙන් අණදීමක්ද එහි සටහන්ව ඇත. මෙය කුරානයෙන් උපුටා ගත්තක් බව ඩේලිමිරර් වාර්තාව කියයි.
මේ සමඟ ඇති අනෙක් පෝස්ටරය ලේ පෙරෙන කිනිස්සක් දරන ප්‍රහාරකයකුගේ රැවක් සහිතය. ඔහු සිටින්නේ නිව්යෝර්ක් නගරයට ඉහළිනි. “ඔබේ රටේ ප්‍රහාර අරඹන්න!” යන අදහස දෙන fight them in your country යන නියෝගය මගින් එරට සිටින හුදෙකලා අන්තවාදී ප්‍රහාරකයන්ට මිනිස් ඝාතන සඳහා අරියුම් කර තිබේ. තෙවැනි පෝස්ටරය ඉස්ලාමයට පිටු නොපාන ලෙස කෙරෙන අවවාදයකි.
මේ ප්රචාරක පෝස්ටර අයිසිස් හිතවාදී Ash Shaff Media Foundation මගින් සකස් කර එවන් මත ප්රචාරක TRAC මගින් ට්විටර් කර තිබුණකි. ලංකාවේ පාස්කු ඉරිදා ප්රහාරයන්ට පසුව මේ කල්ලිය ප්‍රචාරය කර තිබුණේ ආගමේ සතුරන්ගේ අපිරිසිදු රුධිර ගංගා ගලායාමට සලස්වන බවට තර්ජනය කරමිනි.