2019 මැයි 18 වන සෙනසුරාදා

චීන - අමෙරිකා බදු හටන

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 148

අමෙරිකාව සහ චීනය අතර අළුයට ගිනි පුපුරු සේ පැවැති වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න වී ඇත. එහි ආසන්න ප්‍රතිපලය වූයේ අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත නව තීරු බද්දක් පැනවීමට චීනය තීරණය කිරීමය.

චීනය පැනවූ නව වෙළඳ බදු අමෙරිකානු නිෂ්පාදන 5000 කට වැඩි සංඛ්‍යාවක් මත  බලපැවැත්වෙයි. මෙලෙස චීන බදු වැදෙන භාණ්ඩ අතරට හරක් මස්, බැටලු මස්, ඌරු මස් නිෂ්පාදන, පළතුරු යුෂ, එළවළු තෙල්, තේ, කෝපි සහ එළවළුද අයත්ය.

ඒ අනුව ඩොලර් බිලියන 60ක් වටිනා අමෙරිකානු ආනයන මෙම නව බද්දට යටත්වනු ඇත. චීනයෙන් අමෙරිකාවට අපනයනය කරන අමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් භාණ්ඩ වෙත පැනවූ බද්ද දෙගුණ කිරීමට අමෙරිකාව පියවර ගෙන දින තුනක් ගත වන්නටත් පෙර චීනය මෙම නිවේදනය නිකුත් කළේය. චීන පාර්ලිමේන්තුවේ තීරැබදු ප්‍රතිපත්ති කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. එළඹෙන ජූනි 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇත. දැන් මේ ලෝක ලොක්කන්ගේ වෙළඳ අර්බුදය ලොව කොටස් වෙළඳපොළ බිඳවැටීමටද හේතුවී ඇත.

අමෙරිකානු භාණ්ඩ වෙත බදු පැනවීමෙන් වළකින ලෙස ජනපති ට්‍රම්ප් චීනයට අනතුරු ඇඟවූ නමුත් චීනය ප්‍රකාශ කළේ, සිය අරමුණුවලට හානිකරන අමෙරිකානු කොන්දේසිවලට තමන් තවදුරටත් යටත් නොවන බවයි.