
සතියක කාලයක් තුළ මියන්මාරයේ සිදුවන්නට ගිය දෙවැනි ගුවන් යානා අනතුර වළක්වා ගන්නට එරට නියමුවෙක් සමත්විය. ජීවිත 89ක් බේරාගන්නට සමත් වූ ඔහු දැන් එරට වීරයෙක් බවට පත්ව ඇත. එම්බ්‍රයර් 190 වර්ගයේ එම යානය ගොඩ බැස්වීමේදී ක්‍රියාත්මක කරන ගියරයේ ඇති වූ දෝෂයක් නිසා ඉදිරිපස රෝද ක්‍රියාත්මක නොවූ අතර එය ආරක්ෂිතව ගොඩ බැස්වීමට ඔහු සමත්ව තිබේ.
එම ගුවන් යානය යැන්ගොන් ගුවන් තොටුපළේ සිට මැන්ඩලේයි ගුවන් තොටුපළ දක්වා පියාසර කර තිබේ. දෝෂය හටගෙන ඇත්තේ ගොඩබැස්වීමට යාමේදීය. ගුවන් නියමුවා හදිසි අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති අතර, ගුවන් යානයේ බර අඩුකිරීම සඳහා වැඩිපුර තිබූ ඉන්ධන අඩු වනතුරු ගුවන් යානය වැඩි වේලාවක් පියාසර කර ඇත. දෝෂය සම්බන්ධයෙන් දැනුවත් කරන තෙක් ගුවන් නියමු කපිතාන් මයට් මෝ අවුං දෙවරක් ගුවන් තොටුපළ වටා ගුවන් යානය පියාසර කරවූ බවය.
වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, ගුවන් යානයේ ඉදිරිපස පොළොවේ ගැටීමට පෙර එහි පසුපස රෝද මගින් යානය ගුවන්යානා ධාවන පථය මතට ගොඩ බස්වන ආකාරයයි. යානය ඉන්පසු තත්පර 25ක් පමණ කාලයක් ලිස්සා යන අයුරු දක්නට ලැබේ. එය එසේ ලිස්සා ගොස් මැන්ඩලේයි ගුවන් තොටුපළේ ගුවන් යානා ධාවන පථය මත නතර වී තිබිණි.
මීට පෙර සතියේ බදාදා දිනයේදී බංග්ලාදේශ ගුවන් සමාගමේ ගුවන් යානයක් අයහපත් කාලගුණය හේතුවෙන් යැන්ගොන් ගුවන් ධාවන පථයේ ලිස්සා යාමෙන් පුද්ගලයින් 17 දෙනෙක් තුවාල ලැබූහ.