
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ආර්ථික සහ හමුදා සම්බාධක පනවමින්, ඉරානයට එරෙහි පීඩනය දැඩි කිරීමට පියවර ගන්නා පසුබිම තුළ තමන්ද දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය තරවටු කර තිබේ. ඒ අනුව තම රට සහ අමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් තමන් ඊශ්රායාලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන කැබිනට් අමාත්‍යවරයකු අනතුරු අඟවා තිබේ. ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකානු රජයට දැඩි සහාය දක්වමින් අමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, ඉරානයේ මෙම අනතුරු ඇඟවීමට හේතුව ලෙස සඳහන් වේ.
ඒ අතර අමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය “මෙතෙක් නොවූ විරූ මට්ටමින්” පීඩනයකට ලක්වී ඇති බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඉරාන ජනාධිපති හසාන් රුහානි කියා සිටියේ එක්සත් ජනපදය නැවත ක්‍රියාත්මක කළ සම්බාධක හේතු කොට ගෙන 1980-88 කාලයේ ඉරාකය හා යුද වැදී සිටි සමයේ පැවති තත්ත්වයටත් වඩා ඉරානයේ ආර්ථිකය නරක තත්වයකට පත්ව ඇති බවය. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනපදය සිය යුද නෞකා සහ ප්‍රහාරක ගුවන් යානා ගල්ෆ් කලාපයේ ස්ථානගත කිරීමත් සමඟ දෙරට අතර දේශපාලන උණුසුම ඉහළ යමින් තිබියදීය.
අමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් හයදෙනකු සමඟ එළැඹි න්‍යෂ්ටික ගිවිසුමේ ඇතැම් කොටස් ක්‍රියාවට නැංවීමෙන් වළකින බව ඉරානය පසුගියදා නිවේදනය කිරීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් මෙලෙස නව සම්බාධක පැනවීමට පියවර ගත්තේය.
එලෙස ඉරානයට එරෙහි සම්බාධක දැඩි කළ අමෙරිකානු ජනාධිපතිවරයා, න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීම සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡාවලට එළඹෙන ලෙස ඉරාන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ නොකළහොත් ඉරානයට යුධමය බලපෑම් කිරීමට සිදුවනු ඇති බවයි.
අන්තර්ජාතික න්‍යෂ්ටික ගිවිසුමෙන් අර්ධ වශයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ ඉරාන ජනාධිපති හසන් රුහානි න්‍යෂ්ටික ගිවිසුමේ අනෙක් කොන්දේසි සමඟ එකඟවීමට නම් ඉරානයේ ක්ෂේත්‍ර ගණනාවකට පනවා ඇති සම්බාධක ඉවත් කළයුතු බව ප්‍රකාශ කර ඇත. ඉරාන ජනාධිපති රුහානි මේ වනවිට තම රට තුළද දේශපාලනික වශයෙන් පීඩනයකට ලක්ව සිටී. කෙසේ නමුත්, ජාත්‍යන්තර තහංචිවලට එරෙහිව මුහුණදීම සඳහා එක්සත්ව කටයුතු කරන ලෙස ඔහු තම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය සමඟ ඉරානය එම න්‍යෂ්ටික ගිවිසුමට එකඟ වූයේ 2015 වසරේදීය. එම ගිවිසුම ජනාධිපති බරක් ඔබාමාගේ විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයක් හැටියට සැලකෙයි. එහෙත් එම ගිවිසුම ලිහිල් වැඩිය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ අදහසය.