2019 මැයි 04 වන සෙනසුරාදා

ලොස්ඇන්ජලීස් පිපිරවීම වරදී : බෝම්බ සුද්දා මිලිටරිකාරයෙක්!

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 220

ලොස් ඇන්ජලීස් නුවර රැලියකට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කර පුද්ගලයන් රැසක් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ අමෙරිකාවේ හිටපු හමුදා නිලධාරියකු අවසන් මොහොතේ අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්විය.  

FBI ආයතනයේ ඔන්ලයින් මෙහෙයුමක් ඔස්සේ අත්අඩංගුවට ගත් මාර්ක් ස්ටීවන් ඩොමින්ගෝ නමැති 26 හැවිරිදි මෙම සැකකරු ඇෆ්ගනිස්ථානයේදී අමෙරිකානු සෙබළෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුව ඉස්ලාම් දහම වැළඳගත් අයෙකු බව සඳහන්ය. ඇෆ්ගනිස්ථානයේ මාස 4ක කාලයක් සේවය කර ඇති අදාළ පුද්ගලයා එහිදී ත්‍රස්තවාදීන්ට සහය ලබාදුන් බව හෙළිවීමෙන් අනතුරුව සිය ආයතනය අඛණ්ඩව ඔහු කෙරෙහි විමසිල්ලෙන් පසුවූ බව FBI ආයතනය සඳහන් කළේය. FBI ආයතනය පවසන්නේ මාර්ක් ස්ටීවන් ඩොමින්ගෝ IS ත්‍රස්තවාදීන්ට පක්ෂපාතීත්වය පළකර තිබූ බවයි. යුදෙව් ජාතිකයන්, කතෝලික පල්ලි සහ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඔහු අන්තර්ජාලය ඔස්සේ වරින්වර පවසා ඇතැයිද FBI ආයතනය   වාර්තා කර තිබේ.

මාර්ක් ස්ටීවන් ඩොමින්ගෝ මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබුණේ ඉකුත් ඉරිදා ලෝන්ග් බීච්හි පැවැත්වීමට නියමිතව තිබූ සුදු ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨත්වයට අදාළ වයිට් සුපර්මෑසිස්ට් රැලියේ ජනතාව ඉලක්ක කරගනිමිනුයි. ඕස්ට්‍රේලියානු ජාතිකයකු ඉකුත් මස නවසීලන්තයේ පල්ලි දෙකකට ප්‍රහාර එල්ලකර ඉස්ලාමීය බැතිමතුන් 50 දෙනෙකු ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස අදාළ සැකකරු මෙය සැලසුම් කර ඇති බව සඳහන්ය.

උපරිම හානි සිදුකරමින් පුද්ගලයින් රැසක් ඝාතනය කිරීමට අවශ්‍ය බව නිරන්තරව පැවසූ මොහු අත්අඩංගුවට ගැනීම ජනතාවට පැවති තර්ජනයක් සාර්ථකව නිමා කිරීමකි. ඩොමින්ගෝ ලොස් ඇන්ජලීස්හි අමෙරිකානු දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැරදිකරු බව ඔප්පු වුවහොත් ඔහුට වසර 15ක උපරිමයක් දක්වා වූ සිර දඬුවමක් නියම වනු ඇති.