2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

කිම් ජොන්-පුටින් හමුව සාර්ථකයි!

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් 2011 බලයට පත් වූ පසු තම ධූර කාලය තුළ හමුවු 6 වැනි රාජ්‍ය නායකයා බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැන් පත්ව තිබේ. ජපාන ජනපති ෂී ජින් පින්, දකුණු කොරියා ජනපති මුන් ජේ ඉන්, සිංගප්පුරු අගමැති ලී සින් ලුන්ග්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වියට්නාම් ජනපති ගුයෙන් පූ ට්‍රොන්ග් යන රාජ්‍ය නායකයන් හමුවීමට මීට පෙර ඔහු ඉදිරිපත් විය. කිම් ජොන්ග් උන්, පුටින් සමඟ මෙම ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහා සිය පෞද්ගලික දුම්රියෙන් රුසියාවේ නැගෙනහිර ප්‍රදේශය වෙත පිටත් වූ ආරංචිය පසුගිය සතියේ  විදෙස් මාධ්‍ය වාර්තා අතර ප්‍රමුඛ තැනක් ගත්තේය.

ඉකුත් බ්‍රහස්පතින්දා රුසියානු වේලාවෙන් සවස 2ට රුසියාවේ ව්ලැඩිවොස්ටොක්වල ෆාර් ඊස්ටර්න් ෆෙඩරල් සරසවි ගොඩනැගිල්ලේදී මෙම රාජ්‍ය නායක හමුව සිදුවිය.

මෙම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට මේ වනවිට වසර 71ක් සැපිරේ. බෙන්ස් ලිමෝසින් රථයකින් බැස ආ කිම් ජොං පිළිගත් පුටින් කීවේ, ඔබ රුසියාවට පිළිගැනීමට මා ඉතාමත් සතුටුයි කියාය. මේ සංචාරය මගින් දෙරට අතර සබඳතා වර්ධනයට හේතුවක් වන අතරම කොරියානු අර්ධද්වීපයේ සැබෑ තත්ත්වය දැන ගැනීමට මෙන්ම එහි ගැටලු විසඳීම සඳහා වූ ධනාත්මක වැඩපිළිවෙළකට ආධාර ලබාදීමට රුසියාවට හැකිවනු ඇතැයිද පුටින් කීවේය. දෙරට අතර ආර්ථීක වෙළඳ සහ මානුෂීය සබඳතා සවිමත් කරන හමුවක් ලෙස පුටින් මෙය හඳුන්වා දුන්නේය.

උතුරු කොරියා නායකයා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම මහත් ආන්දෝලනාත්මක පුවතක් වූ අතර ලොවපුරා ප්‍රබල අවධානයක් දිනාගත්තේය. ලෝකයම සැනසුම් සුසුම් හෙලුවේ දැන් ඉතිං න්‍යෂ්ඨීක යුද අනතුරින් ලෝකයම මිදුණා කියාය. එම හමුවීම් යම්තාක් දුරට එම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරකර ගන්නා ස්වභාවයක් පෙන්නුවද ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු එම සබඳතාවල පළුදුවීමක් දක්නට ලැබුණි. උතුරු කොරියානු නායක කිම් ජොන් පවසා සිටියේ මයික් පොම්පියෝ සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකිරීමට අදහස් නොකරන බවයි. උතුරු කොරියාව රුසියානු ජනාධිපතිවරයා ප්‍රථමවරට හමුවීමට තීරණය කර තිබුණේ ඒ අතරය.

ඇමරිකාව දිගින් දිගටම උතුරු කොරියාවට බලපෑම් කර සිටියේ න්‍යෂ්ටික අවි නිපදවන බවට චෝදනා කරමිනි. ට්‍රම්ප් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නතර කිරීමටත් එම පර්යේෂණාගාර වසා දැමීමටත් උතුරු කොරියාව පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් ඇමරිකාව තවමත් චෝදනා කර සිටින්නේ උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි පවතින බවත් ඒවා ඇමරිකාවට භාරදිය යුතු බවටත්ය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලින් පසුවද උතුරු කොරියාව සිය ස්ථාවරයේම සිටි අතර සාකච්ඡාවලින් පසුද උතුරු කොරියාව නවීන අවි අත්හදා බැලීම් සිදුකර ඇති බව වාර්තා විය. උතුරු කොරියාව හා රැසියාව අතර සබඳකම් අලුතෙන් වර්ධනය වූයේ මේ අතරය.