
මියන්මාරයේ උතුරුදිග කලාපයේ කචීන් පළාතේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 90 දෙනෙක් අතුරුදන්ව ඇත. කචීන් පළාතේ සිදුවූ නායයෑමෙන් පතල් කම්කරුවන් පිරිසක් රැඳී සිටි නිවහනක් සහ රථවාහන 40ක් පමණ යටවී තිබුණි. නායයාමට යටව මෙලෙස මියගොස් ඇත්තේ ජේඩ් පතලක සේවය කරමින් සිටි පිරිසකි. පතළ අසල පිහිටි කන්ද නායගොස් ඒ සමීපයේ තිබූ ජලාශය පිටාර ගිය ආකාරයත්, ඒ සමඟින්ම නැගී ආ මඩ ප්‍රවාහයෙන් අසල සිටි කම්කරුවන් යටවී ගිය ආකාරයත් අදාළ වීඩියෝවල සටහන්ව තිබේ.
ඔවුන්ගෙන් තිදෙනෙකුගේ සිරුරු පිටතට ගෙන ඒමට සහන සේවකයන් සමත්ව ඇති නමුත් සෙසු පුද්ගලයන්ගේ සිරුරු සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බව බලධාරීන් පවසා සිටිති. එමෙන්ම මඩ තුළ සිරවී සිටින කම්කරුවන් අතරින් කිසිවකුගේත් දිවි බේරා ගැනීමට හැකියාවක් නොමැති බවද ඔවුන් පවසා ඇත. කෙසේ වුවද මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන ඇත. මියගිය පිරිසගේ සිරුරු පවා ගොඩගැනීම ඉතාමත් අසීරු වනු ඇති බව අනාවරණය වී ඇත. නියමිත රෙගුලාසි වලට අනුකූල නොවන පතල් කැණීම් හේතුවෙන් සිදුවන මෙවැනි අනතුරු නිසා සෑම වසරකම මියන්මාරයේ කම්කරුවන් බොහෝ පිරිසකගේ දිවි අහිමි වන බව වාර්තාවේ.