ඉන්දීය මහ මැතිවරණ ඡන්ද විමසීමේ දෙවන අදියර පසුගියදා අවසන් විය. එම බ්‍රහස්පතින්දා පැවති ඡන්ද විමසීම බලවත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලට බෙහෙවින් වැදගත් එකක් විය. ඒ, ඔවුන්ට පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රාදේශීය වශයෙන් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව බලපාන හෙයිනි.
එහිදී තමන් “වැරදි” දේශපාලන පක්ෂයකට ඡන්දය භාවිත කළ බව දැන ගැනීමෙන් පසු සිය දබරැඟිල්ල තමන් විසින්ම කපාගනු ලැබූ පුද්ගලයෙකු පිළිබඳව වූ වාර්තාවක් ඉන්දියාවෙන් සැලවීය.
සමාජ වෙබ් අඩවි ඔස්සේ ව්‍යාප්ත වූ වීඩියෝවක දැක්වෙන්නේ, පවන් කුමාර් නමැති නමින් පෙනී සිටින්නෙකු තමන් අත්වැරදීමකින් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය ලබා දී ඇති බව කියන හැටිය. පවන් කුමාර් බ්‍රහස්පතින්දා ඡන්දය භාවිත කර ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ද්ෂාර් ප්‍රදේශයේදීය. ඔහුට අවශ්‍ය ව තිබී ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය වශයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයකට ඡන්දය ලබාදීමටය. එහෙත්, ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍රයේ පැවති පක්ෂ සලකුණු රාශිය නිසා ඔහු ව්‍යාකූලත්වයට පත්ව තිබිණි.
“මට ඕන වුණේ අලියාට ඡන්දය දෙන්න, ඒත් වැරදිලා මම ඡන්දය දුන්නේ මලට,” පවන් කුමාර් ඔහුගේ වීඩියෝවේ එසේ පවසයි. භාරතීය ජනතා පක්ෂයේ සලකුණ නෙළුම් මල වන අතර, අලියා සලකුණ හිමි දේශපාලන පක්ෂය වන්නේ, බහුජන් සමාජ් පක්ෂයයි. බහුජන් සමාජ් පක්ෂය යනු තවත් ප්‍රදේශීය පක්ෂ දෙකක් සමඟ සන්ධානගතව භාරතීය ජනතා පක්ෂයට එරෙහිව තරග කරන ප්‍රාදේශීය වශයෙන් ප්‍රබල පක්ෂයකි. සාක්ෂරතාව පහළ අගයක පවතින ප්‍රදේශ රැසක් පවතින ඉන්දියාවේ ඡන්දය භාවිත කිරීම සඳහා පක්ෂ සලකුණු ඉතා වැදගත්ය. ඊට අමතරව ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක දේශපාලන පක්ෂ රැසක් පවතින හෙයින් ඉන්දීය ඡන්දදායකයෝ නිරන්තරයෙන් ව්‍යාකූලත්වයට පත් වෙති.
පවන් කුමාර් යනු දලිත් ජන කොටසට අයත් පුද්ගලයෙකු වන අතර, බහුජන් සමාජ් පක්ෂයේ ඡන්ද බැංකුව ලෙස එම ජන කොටස හඳුන්වයි. එක ජන්දයක් වුව ජයග්‍රහණය සඳහා ඉතා වැදගත් හෙයින් සිය අත් වැරැදීම මහා වරදක් ලෙස පවන් කුමාර් සලකා ඇත.