2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

වතුර නෑ: ලයිට් නෑ ජනතාව වීදි බසිති! ජෝකරයෙක් රජ පුටුවට!

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

නජීබ් රසාක්ට නඩු 

අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම පහක ඇපයක් මත නිදහස්ව සිටි හිටපු මැලේසියා  අගමැති නජීබ් රසාක්ට එරෙහි නඩු විභාගය ඉකුත් සතියේ ඇරඹුණේය. ඒ සඳහා ඔහු  ක්වාලාලම්පූර් අධිකරණය වෙත පැමිණීම විදෙස් මාධ්‍ය වාර්තා අතර මුල් තැනක් ගත්තේය. රජයේ ආයෝජන අරමුදලක් වන වන මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාඩ් අරමුදලට ලද මුදල් වංචා කිරීම නජීබ් රසාක්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. ඒ හා සමගම බලය අනිසි ලෙස භාවිතා කිරීම, මුදල් විශුද්ධිකරණය, සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා 42ක් ඔහුට එරෙහිව ගොනුකර ඇත.

ලෝක දේශපාලනයේ කරළියේ පෙරළි රැසක්

පසුගිය සතිය ගෙවී ගියේ ලෝක දේශපාලන කරළියේ පෙරැළී රැසක් ඇති කරමිනි. බ්‍රෙක්සිට් පලහිලව්ව හේතුවෙන් එංගලන්ත අගමැතිනියගේ භූමිකාව හෑල්ලුවට ලක්වෙද්දී ඇගේ  තැන ගන්නට අනු ප්‍රාප්තිකයන් අතර පොරයක් ද මතුව ඇත. හිටපු විදෙස් ලේකම් බොරිස් ජොන්සන්, මයිකල් ගෝව්, ඩොමිනික් රාබ්, ජෙරමි හන්ට්, ඩේවිඩ් ඩාවිස් ඇතුළු කිහිපපලකගේ නම් ඒ අතර මතුව ඇත.

ඒ අතර වසර 30කට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සෞදි කොන්සල් කාර්යාලයක් විවෘත වූයේ දුරස්ව තිබූ දෙරටේ මිත්‍රත්වය අලුත් කරමිනි. නව කොන්සල් කාර්යාලය විවෘත කරමින් සෞදිය, ඉරාකයට ඩොලර් බිලියනයක ආධාරයක් ද ලබා දුන්නේය.

සෞදිය, ඉරාකයට යළි සමීප වීමෙන් ඉරානය සහ ඉරාකය අතර පාරම්පරික කෝන්තරය නව වටයකින් ඇරඹෙන්නට ඉඩ ඇති බවට දේශපාලන විචාරකයෝ සැක පළකරති. 

ඒ අතර රොබර්ට් මුගාබේගෙන් පසු ලෝක දේශපාලන කරළියේ වැඩිම කාලයක් සිය රටේ මහ පුටුව බදාගෙන ඉන්නට වලි කෑ ජනාධිපති සීයා ලෙස එරට තරුණ පෙල උපහාසයෙන් යුතුව හඳුන්වන ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල්අසිස් බූට්ෆිලිකා කවුරුත් මවිතයට පත් කරමින් සිය ධූරයෙන් ඉල්ලා අස් විය.

ජනාධිපති සීයා

දශක 2කට වැඩි  කාලයක් එරට  රාජ්‍ය පාලනය හෙබවූ ජනාධිපතිවරයා පස්වන වරටත් ඇල්ජීරියානු ජනාධිපතිවරණය සදහා තරග වැදීමට  කලින්  තීරණය කර තිබුණි. ඊට එරෙහිව එරට ජනතාව වීදි බැස මාස ගණනක් පුරා නිරත වූ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ජනාධිපති අපේක්ෂත්වයෙන් ද ඉවත් වී තිබේ. ජනාධිපති ධූරයෙන් අබ්දෙල්අසිස්  ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඇල්ජීරියා හමුදාපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු තමන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක කවුන්සිලයට ලිපියකින් දැනුම් දී තිබේ.

එරට 82 හැවිරිදි “ජනාධිපති සීයාගේ" මෙම දැනුම් දීමෙන් පසු ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගමින් සතුට පළකළහ.

කවටයා රජවෙයි?

දූෂණය වංචාව පිටුදැකීමට ආ සාමාන්‍ය මිනිසකු ජනාධිපතිවරයා බවට පත්වන කතාවක් ඇතුළත් සර්වන්ට් ඔෆ් ද පීපල් නමැති සිය ප්‍රහසන රූපවාහිනී වැඩසටහන යථාර්ථයක් බවට පත්කිරීම සිය අරමුණ බව කියූ වොල්ඩිමයර් සෙලෙන්ස්කි නම්වන එරට සුප්‍රකට විකට නළුවා යුක්‍රේන ජනාධිපති පුටුව හිමිකරගන්නා ලකුණු සනාථ වී තිබේ.

යුක්‍රේන ජනාධිපතිවරණයේ පළමු වටයෙන්, දේශපාලනය පිළිබඳ අත්දැකීම් රහිත, ප්‍රහසන නළු වොල්ඩිමයර් සෙලෙන්ස්කි වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන ඇත. අදාළ ප්‍රතිඵලවලට අනුව රෑපවාහිනියේ ජනාධිපතිවරයාගේ චරිතයට පණ පෙවූ වොල්ඩිමයර් 30 . 4% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගන්නා විට, වත්මන් යුක්‍රේන ජනාධිපතිවරයා වන පෙට්‍රෝ පොරොෂෙන්කෝට ලැබී ඇත්තේ 17. 8% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

යුක්‍රේන වත්මන් ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමොෂෙන්කෝ සමඟ තරග වදිමින් සෙලෙන්ස්කි මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීම ද විශේෂත්වයකි. යුලියා ටිමොෂෙන්කෝට ලැබී ඇත්තේ 13.1% ක ඡන්ද ප්‍රතිශතයකි. මෙවර යුක්‍රේන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. නමුත් ඔවුන් කිසිවකුත් 50% හෝ එය ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත්වීම හමුවේ, වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් දෙදෙනා පමණක් ලබන අප්‍රේල් 21 පැවැත්වෙන දෙවන ඡන්ද විමසීමකට සහභාගී වීමට සුදුසුකම් ලබනු ඇත. සෙලෙන්ස්කි සිය ජයග්‍රහණය තහවුරු වීමෙන් පසු ප්‍රකාශ කළේ තමන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි. යුක්‍රේන ජනතාව මෙය විහිළුවකට ගෙන නොමැති බවත්, කෙසේ වෙතත් මෙය ආරම්භය පමණක් වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

රුසියාව වත්මන් ජනාධිපති පොරොෂෙන්කෝගේ පරාජය බලාපොරොත්තුවෙන් සිටින අතර මොස්කව් පාලනය පවසන්නේ පොරොෂෙන්කෝ හැර වෙනත් ඕනෑම පුද්ගලයකු ජනාධිපති ධූරයට සුදුසු බවයි. කෙසේ වෙතත් කිසිවිටෙකත් යුක්රේන ජනාධිපතිවරණයේ කටයුතුවල මැදිහත් නොවන බව ද රුසියාව කියා ඇත.

මුල්වරට කතක් මුල් පුටුවට

ස්ලෝවැකියානු දේශපාලනයේ බලගතු වෙනසක් පසුගිය සතියේ සිදුවිය. එරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති ධූරයට කාන්තාවක් පත් වීමත් සමඟිනි. ඒ අනුව දූෂණ විරෝධය ඉලක්ක කරමින් සිය ජනපතිවරණ සටන ගෙන ගිය සුසානා කැපුටෝවා ස්ලෝවැකියාවේ ප්‍රථම ජනාධිපතිවරිය ලෙස පත්වූවාය. අගේ ප්‍රතිවාදියා වූයේ දේශපාලන ලෝකයේ අත්දැකීම් බහුල යුරෝපීය කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කරන මාරෝස් සේෆ්කොවිච්ය.

සුසානා කැපුටෝවා 58%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබූ අතර මාරෝස් සේෆ්කොවිච් 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබුණි. දෙදරු මවක් වන 45 හැවිරිදි සුසානා කැපුටෝවා සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටි ක්‍රියාකාරිනියකි. ලිබරල් ප්‍රගතිශීලි පක්ෂයේ සාමාජිකාවක වන ඇය වෘත්තියෙන් නීතිඥවරියකි.

සුසානා කැපුටෝවා සිය ජනාධිපතිවරණ සටන ගෙන ගියේ යහපත සහ නපුර අතර අරගලයක් ලෙසය. ඒ අනුව පවත්නා දූෂණ විරෝධී රැල්ල විසින් ඇය ජයග්‍රහණය කරවා තිබේ. එරට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ ජෑන් කුයිචැක් සහ ඔහුගේ පෙම්වතිය පසුගිය වසරේ පෙබරවාරියේ ඝාතනය වූ අතර එය ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් එල්ල කර තිබුණි.