2019 මාර්තු 30 වන සෙනසුරාදා

සිරියාවේ ISIS කම්මුතුයි!

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 287

අමෙරිකාව ඇතුළු බටහිර රාජ්ජවලට මහා ඉසරදයක්ව තිබූ මූලධර්මවාදී සංවිධානයක් වන ISIS සිරියාවෙන් අතුගා දැමූ බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාරම්බෑවේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබමින් සිරියානු ඒකාබද්ධ හමුදා අයි.එස්. ත්‍රස්තයන්ට ප්‍රහාර එල්ලකරමින් පසුගිය දින කිහිපය වනවිට සිරියාවේ බගූස් ගම්මානයට කොටු කිරීමට සමත්වූ බව වාර්තා විය. සිරියානු භූමිය අල්ලාගෙන සිටි ISIS සංවිධානයට තමන් සතු අවසන් බිම්කඩත් අහිමි වූ බව කී සිරියානු ප්‍රජාතාන්ත්‍රික බළකාය පවසා ඇත්තේ ISIS සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත්කළ බවය.
ඒ අනුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාව අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් මුදාගත් බවත් එම සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කළ බවත් ට්විටර් කරන්නට පියවර ගත්තේය. 

මීට කලකට පෙර ISIS සටන්කාමීන් බටහිර සිරියාවේ සහ නැගෙනහිර ඉරාකයේ වර්ග කිලෝමීටර් 88,000ක් පමණ සිය පාලනයට නතු කරගෙන තිබිණි. කෙසේ වෙතත් මාර්තු මාසය මුල වනවිට එම බිම් ප්‍රමාණය බටහිර සිරියාවේ බගුස්හි සීමිත බිම්කඩකට සීමා විය. දැන් ඒ බිම්කඩද ඔවුන්ට අහිමිය. සිරියානු ප්‍රජාතාන්ත්‍රික බළකා සෙබළුන් බගුස්හි සිය කහ පැහැති ධජ ලෙළවමින් සතුට සමරන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. 

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ජිහාද් සාමාජිකයන් සිරියානු හමුදා වෙත භාරවෙමින් සිටින බවද  වාර්තා  විය. ජනවාරි 9 වැනිදායින් පසුව අයි.එස්. සංවිධානය යටතේ සිටි සිවිල් වැසියන් 66,000ක්ට අධික පිරිසක් හමුදා වෙත භාරවී ඇත. ඔවුන් අතර ජිහාද් සටන්කාමීන් 6,000ක් සහ ඔවුන්ගේ ඥාතීන් 24,000ක් සටන්කාමීන්ට සම්බන්ධයක් නොමැති සිවිල් වැසියන් 37,000ක් හමුදා වෙත භාර වූ බව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකාය පවසයි.

පරාජය අභිමුව සිටි ISIS සංවිධානය අන්තිම තුරුම්පුව ලෙස ISIS සටන්කාමීන්  කාන්තාවන් සහ ළමයින්ද යුද පෙරමුණට කැඳවන්නට ක්‍රියාකර තිබුණි. ජිහාද් සටන්කාමීන් බවට සැකකෙරෙන පුද්ගලයන් හමුදා භාරයේ රඳවා ඇති අතර අනෙක් පිරිස සරණාගත කඳවුරුවලට යොමුකර ඇත. කෙසේ වෙතත් ISIS සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා තවමත් අවසන් වී නොමැත. එම සංවිධානයට අයත් පිරිස් මේ වනවිට නයිජීරියාව, යේමනය, ඇෆ්ගනිස්ථානය, පිලිපීනය ඇතුළු ඉස්ලාමීය රටවල හුදෙකලාව සිටිති.

ඇමරිකානු එක්සත් ජනපදය පවසන්නේ ඉරාකයේ සහ සිරියාවේද තවමත් සැලකිය යුතු ISIS සාමාජිකයන් පිරිසක් සිවිල් වැසියන් අතර සැඟවී සිටින බව තමන් විශ්වාස කරන බවයි. ඒ අනුව ඔවුන් පරාජය කිරීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන බවට ඇමරිකාව අනතුරු අඟවා ඇත.