2019 මාර්තු 30 වන සෙනසුරාදා

ඩකා නුවර මහා ගින්නක්!

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

බංග්ලාදේශයේ ඩකා අගනුවර බනානි වෙළඳ ප්‍රදේශයේ පිහිටි මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක ඇති වූ මහා ගින්නක් නිසා 17කට වැඩි පිරිසක් මියගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 70 කට අධිකය. මිලිටරි හෙලිකොප්ටර් පවා යොදා ගනිමින් ගිනි නිවන හමුදාව ගින්න පාලනයට කටයුතු කර ඇත.

මේ ගින්න අතරතුර එහි සිටි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මියගොස් ඇති තැනැත්තා ගින්නෙන් බේරීමට උත්සාහ කිරීමේදී ඔහු ගොඩනැගිල්ලෙන් පහළට ඇදවැටී ඇතැයි සඳහන් වේ. මෙලෙස ඇදවැටී මියගොස් ඇත්තේ, නිරාස් චන්ද්‍ර නමැති ශ්‍රී ලාංකිකයා බව පොලිස් ප්‍රධානියෙකු සඳහන් කර ඇති බව, රෝහල්ගත කිරීමේදී ඔහු මියගොස් ඇති බවත් ඩකා ට්‍රිබියුන් වෙබ් අඩවියේ සඳහන්ය. ඩකා නුවර පිහිටි වෙළඳ සංකීර්ණ සහ කාර්යාල රැසක් සහිත බනානි ප්‍රදේශයේ මහල් 19 කින් යුත් සමන්විත ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබේ.

බංගලාදේශය ගිනි අනතුරු සුලබය. ගිය මස ඩකාහි වසර 400ක් පැරණි ගොඩනැගිල්ලක හටගත් ගින්න 67ක් බිලි ගත්තේය. 2012 සිදුවූ ඛේදජනක සිද්ධියකින් දොරගුළු ලූ රෙදි කම්හලක සේවකයින් 112ක් අළු වී ගියහ. ඉන් හයමසකට පසු තවත් රෙදිකම්හලක් කඩාවැටී 1100කට වැඩි පිරිසක් මියගියහ. 2010දී 123ක් ගිනි දෙවියාට බිල වූයේ තහනම් රසායන නිසා ඇතිවූ ගින්නකිනි.