2019 මාර්තු 30 වන සෙනසුරාදා

චෝදනාවෙන් ට්‍රම්ප් නිදොස් : කොරියන් තහනම ඉවතට

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය, 2016 වසරේ ජනාධිපතිවරණය ජය ගැනීමට රුසියාව සමඟ කුමන්ත්‍රණය කර නැතැයි ඊට අදාළ විමර්ශනය මෙහෙයවූ විශේෂ උපදේශක රොබර් මුලර් පවසයි. එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනපති ට්‍රම්ප්ට එරෙහි එම චෝදනා ඔප්පුකිරීමට කිසිදු සාක්ෂියක් හමුනොවූ බවයි.

කිසිදු ජනාධිපතිවරයකු එවැනි අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් විමර්ශනයට භාජනය විය යුතු නැතැයි කියන අමෙරිකානු ජනාධිපතිවරයා තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ සිය සතුරන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීමක්ද සිදු කළේය. ඒ අතර උතුරු කොරියාවට අලුතින් පැනවූ සම්බාධක කිහිපයක් අත්හිටුවීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව අමෙරිකාව පනවා තිබූ සම්බාධක උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති චීන නැව් සමාගම් දෙකකට අමෙරිකානු භාණ්ඩාගාරය මගින් පනවා තිබූ සම්බාධක මෙලෙස ඉවත්කර ඇත. අමෙරිකානු ජනපතිවරයා හදිසියේ ට්විටර් පණිවුඩයක් මගින් මේ බව නිවේදනය කර තිබේ. සම්බාධක අත්හිටුවීම පිළිබඳ අදහස් දක්වමින් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පැවසුවේ, අමෙරිකානු භාණ්ඩාගාරය මගින් උතුරු කොරියාවට සම්බාධක පැනවීම මේ මොහොතේ ඉතා වැදගත් බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.