2019 මාර්තු 30 වන සෙනසුරාදා

තායිලන්තයේ මැතිවරණ අලකලංචිය!

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

පසුගිය ඉරිදා පැවති තායිලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බවත්, මැතිරණයේදී අක්‍රමිකතා සිදු වූ බවත් එරට හිටපු අගමැතිවරයෙකු වන තක්ෂින් ෂිනවත්‍රා ප්‍රකාශ කර ඇත. 2014 වසරේදී මිලිටරි කණ්ඩායමක් අතට තායිලන්තයේ බලය හිමිවීමෙන් අනතුරුව පවත්වන ලද පළමු මැතිවරණය මෙය වන අතර හමුදා බලයේ සිටි නායකයන්ගෙන් සමන්විත පක්ෂය මැතිවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගැනීම මෙන්ම පාර්ලිමේන්තු ආසන දිනාගැනීම අතින් දෙවැනි තැනට පත්වීමද සුවිශේෂී කරුණකි.

ඉරිදා පැවති මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්ෂයක් සමත් නොවූහ. කිසිදු පක්ෂයක් බහුතර ආසනය සංඛ්‍යාවක් දිනාගෙන නොමැති හෙයින් වසර කිහිපයක සිට එරට පවතින දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් මතුව ඇත.

මැතිවරණය පැවති ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ ගැටලු මතුව ඇත. මැතිවරණයේදී භාවිතා කළ ඡන්ද ප්‍රමාණය හා නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අතර සැළකිය යුතු වෙනසක් දක්නට ලැබෙන අතර එරට රාජ්‍ය නිලධාරීන් පවසන්නේ එහිදී මැතිවරණ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් සිදුව ඇති බවයි.

2006 වසරේදී බලයෙන් පහ කෙරුණු තක්ෂින් ෂිනවත්‍රා මේ වනවිට ස්වයං පිටුවහලේ ජීවත්වන අතර කෙසේ වෙතත් තායි දේශපාලනය තුළ තක්ෂින් ෂිනවත්‍රා යනු වඩාත් බලපෑම් සහගත දේශපාලනඥයාය. 2001 වසරේ සිට පැවති සියලු මැතිවරණ ජය ගැනීමට ෂිනවත්‍රාගේ පෙව් තායි පක්ෂය සමත් වූ අතර ෂිනවත්‍රා දූෂණ චෝදනා මත සිරදඬුවම් විඳිද්දී පවා ඔහුගේ සහෝදරිය වූ යින්ග්ලක් ෂිනවත්‍රාට මැතිවරණයෙන් ජය ගැනීමට හැකි වූයේද තක්ෂින් ෂිනවත්‍රාගේ ජනප්‍රියත්වය හේතුවෙනි. 

2014 වසරේදී යින්ග්ලක් බලයෙන් පහ කරමින් මිලිටරි ආණ්ඩුවක් පත් වූ අතර ඉන්පසු පළමුවරට මහජන මැතිවරණයක් පැවතියේ පසුගිය ඉරිදාය. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 500 කින් සමන්විත තායි පාර්ලිමේන්තුවේ ආසන 250ක් හිමිකර ගැනීම අවශ්‍ය වන අතර ඒ අනුව ඉදිරියේදී සභාග ආණ්ඩුවක් හෝ සුළුතර ආණ්ඩුවක් පිහිටුවනු ඇත. වසර ගණනක සිට අස්ථාවර දේශපාලන තත්වයක් පවතින තායිලන්තයේ එම දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පවතින බව මෙවර මැතිවරණ ප්‍රතිඵලය ලබාදෙන පණිවුඩයයි. 

එරට මැතිවරණ කොමිසමට අනුව හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ පක්ෂය වන පෙව් තායි පක්ෂය ආසන 500 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 138 ක් දිනාගෙන ඇත. මීට අමතරව, 2014 වසරේ සිට පැවති මිලිටරි පාලනයේ අගමැතිවරයා වූ ජෙනරාල් ප්‍රයුත් චාන්-ඔචාගේ පලන්ග් ප්‍රචාරත් පක්ෂය ආසන 96ක් හිමි කරගෙන තිබෙ. 
කෙසේ වෙතත් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව අනුව ඉදිරියෙන් සිටින්නේ පලන්ග් ප්‍රචා රත් පක්ෂයයි. එම පක්ෂය මිලියන 7.6 ක ඡන්ද හිමි කරගෙන ඇති අතර පෙව් තායි පක්ෂය මිලියන 7ක ඡන්ද ප්‍රමාණයක් හිමි කරගෙන තිබෙ. කෙසේ වෙතත් එම පක්ෂය පලන්ග් ප්‍රචාරත් පක්ෂයට වඩා දිනාගෙන ඇති පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය 42 කි. මීට අමතරව තායි තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය ෆියුචර් ෆෝවර්ඩ් නමැති නවක දේශපාලන පක්ෂය ආසන 87ක් දිනාගෙන ඇති අතර හිටපු අගමැතිවරයෙකු වන අභිෂිට් වෙජ්ජාජීවගේ ඩිමොක්‍රටික් පක්ෂය ආසන 55ක් දිනාගෙන තිබේ. භූම්ජයි තායි පක්ෂය ආසන 52ක් දිනාගෙන තිබේ. දේශපාලන පක්ෂ 70 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගි වූ තායිලන්ත මැතිවරණයේදී තවත් පක්ෂ කිහිපයක් මැතිවරණ ආසන 30කට වැඩි සංඛ්‍යාවක් බැගින් දිනාගෙන සිටින බැවින් ප්‍රධාන පක්ෂ දෙකටම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු ආසන 251 ක සකස් කර ගැනීම සඳහා සෙසු පක්ෂ සමග සන්ධානගත වීමට සිදුව ඇත.

තායිලන්ත මැතිවරණ කොමිසම 25 දා මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බව පැවසුවද පසුව ප්‍රකාශ කළේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම මැයි 9 වැනිදා දක්වා කල් යන බවය. කෙසේ වෙතත් මේ වනවිට පෙව් තායි පක්ෂය මෙන්ම පලන්ග් ප්‍රචාරත් පක්ෂයද මතුව ඇති අර්බුදය හමුවේ  තමන් සභාග ආණ්ඩු පිහිටුවන බව ප්‍රකාශ කර ඇත.