2019 මාර්තු 16 වන සෙනසුරාදා

වියදම් වැඩිම ඡන්දෙන් මෝදි පරදින හැඩ !

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

ලොව වියදම් අධිකතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට දැන් දින නියම වී හමාරය. එය අසල්වැසි ඉන්දියාවේ මහා මැතිවරණයයි. එය පැවැත්වෙන්නේ අප්‍රේල් 11 වැනිදා සිටයි. එය අදියර 7කින් යුතුව පැවැත්වේ. ඒ අනුව  ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනිදා ආරම්භ කෙරෙන අතර මැයි 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මේ මහා මැතිවරණය සඳහා ඉන්දිය රුපියල් බිලියන 500ක් වැයවන බව ඇස්තමේන්තු කර ඇත. එය අමෙරිකාවේ ජනාධිපතිවරණයට ගිය වියදමටත් වඩා වැඩිය. 2016 අමෙරිකන් ජනපතිවරණය සඳහා ඩොලර් බිලියන 6.5ක් වූ අතර මෙවර ඉන්දියා  මැතිවරණයට ඩොලර් බිලියන 7ක් වැයවන බව ගණන් බලා ඇත. මෙම වියදම් අධික මැතිවරණයෙන් තවත් වරක් රජවීමට තිබූ මෝදිගේ සිහිනය බිඳවැටෙන ලකුණු පහළ වී තිබේ. නැවත වතාවක් ගාන්ධි පවුලේ නායකයෙකු ඉන්දියාවේ නායකත්වයට පත්වන හෝඩුවාවන් මේ වනවිටත් දක්නට හැකිය. 

මෙවර ඉන්දීය මහමැතිවරණය වෙනුවෙන් ස්ථාපනය කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව ලක්ෂ 10ක් බව විදෙස් වාර්තාවල සඳහන්ය. ඡන්ද ගණන් කිරීම මැයි 23 වැනිදාට යෙදී ඇත. හිමාල අඩවියේ සිට දකුණු ඉන්දිය සාගරය දක්වාත්, බටහිර සුන්දර්ඛාන් සිට තාර් කාන්තාරය දක්වාත් විහිදුණු ඉන්දීය භූමියේ මිලියන 900ක්, එසේත් නැතිනම් කෝටි 90ක පමණ ඡන්දදායකයෝ පිරිසක් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. අපේක්ෂකයින් සඳහා වන ආචාරධර්ම පද්ධතියද දැන් බලාත්මක කර හමාරය. ඒ අනුව, අපරාධ චෝදනා ලැබසිටින අපේක්ෂකයින් මැතිවරණයට පෙර අවස්ථා තුනකදී එම චෝදනා සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු දැක්විය යුතුය. නව ආචාරධර්ම පද්ධතිය යටතේ ඡන්දදායකයින්ගේ තීරණයට බලපෑමක් වන අයුරින් ප්‍ර‍තිපත්ති නිවේදනය කිරීමට නොහැකි පරිදි ඉන්දීය රජයට පවා සීමා පනවා ඇත.

මෙවර මැතිවරණයට තරග කරන කොංග්‍රස් පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුව කලින්ම එළියට ආවේය. පක්ෂ සභාපති රාහුල් ගාන්ධි, සෝනියා ගාන්ධි ඇතුළු 15 දෙනෙකුගේ නාමාවලියක් ඊට ඇතුළත් විය. ගාන්ධි පවුලේ දේශපාලන බලකොටු වන උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, අමෙති සහ රෙබරේලි ආසනවලින් රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වනු ඇති. එහෙත් පසුගිය ජනවාරි මාසයේ දේශපාලනයට අවතීර්ණ වූ ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රසයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත්ව නොමැත. පාලක භාරතීය ජනතා පක්ෂය සහ අගමැති මෝදි කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටී ඇති පසුබිමක කොංග්‍රසයට මෙවර මැතිවරණය වඩාත් වාසිදායක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. මෙය පැවැත්වෙන්නෙ 17 වැනි ලෝක් සභාවට සභිකයින් 543 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහාය.